තොරතුරු දැනගැනීමේ පනතට ”සනස” බැංකුවත් යටත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික බැංකුවක්, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ‘රාජ්‍ය බලධාරියෙකි’ යන අර්ථ නිරූපණයට ඇතුළත් වන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ (RTI) කොමිෂන් සභාව තීන්දු කර තිබේ.

සණස සංවර්ධන බැංකුවේ පාරිභෝගිකයෙකු වන උදාර රණසිංහ නමැත්තා විසින් තම ණය සඳහා අදාළ පොලී අනුපාතය සමාලෝචනය කළ ආකාරය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටිමින් ගොනු කරන ලද අභියාචනයක් විභාග කරමින් කොමිසම මෙම තීරණය ලබා දී ඇත.

අදාළ තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් එම බැංකුව 2025 අප්‍රේල් 9 වැනි දින විද්‍යුත් තැපෑල මඟින් පිළිතුරක් යොමු කර තිබුණද, එම පිළිතුර ගැන සෑහීමකට පත් නොවූ අදාළ පාරිභෝගිකයා පසුව තොරතුරු දැනගැනීමේ කොමිසම හමුවේ අභියාචනයක් ගොනු කළේය.

අභියාචන විභාගයේදී බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ, අවස්ථා හතරකදී විද්‍යුත් තැපෑල මඟින් අවශ්‍ය තොරතුරු සපයා ඇති බවයි. එසේම, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බැවින් තම බැංකුව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ‘රාජ්‍ය බලධාරියෙකු’ යන අර්ථ නිරූපණයට ඇතුළත් නොවන බවට ද බැංකුව තර්ක කළේය.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති දයාරත්න ලංකාපුර, නීතිඥ කිෂාලි පින්තෝ ජයවර්ධන සහ ඒ. මොහොමඩ් නාහියා යන කොමසාරිස්වරුන් හමුවේ මෙම අභියාචනය විභාග විය.

එම කොමිසම විසින් 2026 ඔක්තෝබර් 21 වැනි දින අංක RTC/Appeal/1005/2025 යටතේ නිකුත් කරන ලද තීන්දුව මඟින්, බැංකුවේ එකී ස්ථාවරය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලදී. එහිදී කොමිසම තීන්දු කළේ මහ බැංකු මුදල් මණ්ඩලයේ බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික බැංකුවක් ද මෙම පනත යටතේ පනවා ඇති රාජ්‍ය බලධාරියෙකු යන ව්‍යවස්ථාපිත අර්ථ නිරූපණයට අයත් වන බවයි.

තොරතුරු දැනගැනීමේ පනතේ 5 වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව, රාජ්‍ය බලධාරියෙකු භාරයේ හෝ පාලනයේ පවතින තොරතුරු ලබා ගැනීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇති බව පනතේ 3(1) වගන්තියේ දැක්වේ. එසේම පනතේ 43 වැනි වගන්තිය මඟින් ‘රාජ්‍ය බලධාරියා’ යන්න නිර්වචනය කර ඇති අතර, එහි (e) ඡේදය යටතේ නියමිත කොන්දේසිවලට යටත්ව ඇතැම් පෞද්ගලික ආයතන හෝ සංවිධාන ද ඊට ඇතුළත් කර තිබේ.

කොමිසමේ මෙම තීන්දුව මඟින් මහ බැංකුවේ මුදල් මණ්ඩල බලපත්‍රය යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික බැංකු සඳහා එකී නිර්වචනය අදාළ වන ආකාරය පැහැදිලි කර ඇති අතර, එවැනි ආයතන ද තොරතුරු දැනගැනීමේ පනතේ බලප්‍රදේශයට යටත් වන බව තහවුරු කර ඇත.