අධික වැසි නිසා ජලාශ 30 ක් වාන්දමයි . දිස්ත්‍රික් 3 කට නායයාම් රතු නිවේදන

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ප්‍රධාන ජලාශ 17ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 13ක් මේ වන විට වාන් දමමින් තිබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ගිං, නිල්වලා, කළු, කැලණි ගංගාවල මෙන්ම අත්තනගලු ඔයේ සහ මහ ඔය අවට පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්.සූරියබණ්ඩාර පැවසීය .

මේ අතර දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 කට අදාලව නායායාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ දොඩංගොඩ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරලේ සහ නෝවුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය පැවසුවේය. මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අදියර 1 සහ අදියර 2 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බවත්, පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 10,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතිබවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි .