තෙල්මිල අඩුකළාට පාසල් ප්‍රවාහන සහ ත්‍රී රෝද ගාස්තු අඩු නොවේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 414ක් දක්වා රුපියල් 20කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 382ක් දක්වා රුපියල් 25කින් අඩුකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තද, රථවාහන අමතර කොටස් ඇතුළු සියලු ද්‍රව්‍යවල මිල ඉහළයාම හේතුවෙන් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සහ ත්‍රී රෝද සංගම් පවසයි.

පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“හැමෝම බලාපොරොත්තු වෙනවා රුපියල් 25 ඩීසල් මිල අඩුකරලා පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩුවෙයි කියලා. කියනකොට කියනවා වැඩි කරනකොට වැඩි කරනවා අඩු කරනකොට අඩු කරන්නෑ කියලා. නමුත් මේ වෙලාවේ අපිට ගාස්තු අඩු කිරීමක් කරන්න අපහසුයි.

මොකද ලිහිසි තෙල් 1,100ට තිබුණු එක 1,500වෙලා තියෙනවා. ටයර් රුපියල් 600 කින් වැඩි වෙලා තියෙනවා. අමතර කොටස් මිලත් ඒ වගේම වැඩිවෙලා තියෙනවා. මේ වගේ මිල ඉහළ යාම් වලකාලන්නට රජය පැත්තෙන් මැදිහත්වෙන්න ඕන. මේ අපේ ගාස්තු අඩු කරන්න නම් මේවායේ මිලත් අඩු විය යුඅටහුයි. නැත්තන් අපිට මේ ගාස්තු අඩු කරලා මේ සේවය කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා අපි කනගාටුවෙන් හරි ප්‍රකාශ කරනවා අපිට මේ වෙලාවේ ගාස්තු සංශෝධනයක් කරන්න විදියක් නැහැ කියන එක.”