ත්‍රීරෝදරථ රියදුරෙකුට පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව කියන ගල්කිස්ස මූලස්ථාන පොලීසියට අනුයුක්ත කොස්තාපල්වරු දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත .
රත්මලාන ගුවන්තොටුපොළ මාර්ගයේ තීරෝදරථයක් පදවාගෙන යමින් සිටි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මඟ හරස්කර තීරෝද රථය නවතා තමන්ට පහර දී තමා සන්තකේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව ඉකුත් 15 වෙනි දින මොරටුව අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අදාලව මෙම සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එකී මුදල් සීට්ටු මුදල් බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සිදුකළ දීර්ඝ විමර්ශනවලදී එම මුදල් විදේශගතව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මහා පරිමාණ මත්ද්‍රව ජාවාරම්කරුවෙකු රත්මලානේ කූඩු අංජු නමැත්තාට අයත් ඒවා බවත් පැමිණිලිකරු එකී මුදල් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම කොල්ලය සිදුවී ඇති බවට අනාවරණය වු බව පොලීසිය කියයි.
සැකකාර පැමිණිලිකරුට එකී මුදල් ලබාදුන් බව කියන මොරටුව අඟුලාන සමුද්‍රාසන්න මාවත පදිංචි කාන්තාවකගෙන් ද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඇයද සීට්ටු මුදල් බවට ප්‍රකාශ කළද එය තහවුරු කිරීමට නොහැකි වූ බවත් එකී මුදල් මත්ද්‍රවය ජාවාරමෙන් උපයාගෙන ප්‍රවාහනය කරමින් සිටි ඒවා බවට අනාවරණය වීමෙන් අනතුරුව එම කාන්තාවද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සැකකරුවන් සියලු දෙනා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.