ඩොලර් මිලියන 2.5 ක වංචාවට අදාලව නිළධාරීන් පස් දෙනෙකුට රට ගමන් තහනම් .

ශ්‍රී ලංකා මහ බැංකුවේ විද්‍යුත් තැපැල් පණිවිඩ යොමු කිරීමේ ක්‍රියාවලිය හරහා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය ඊයේ (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත .

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ හමුවේ කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ, තමන් ලද පැමිණිල්ලකට අනුව පොදු දේපළ පනත, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

එම කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට සම්බන්ධයෙන් කටයුතු කළ මූල්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පස් දෙනෙකුගේ විදේශ ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට නියෝග කළේය . ඊට අමතරව ඔවුනගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටද අධිකරණයෙන් විමර්ශන නිලධාරීන්ට අවසර ලබා දුන්නේය .

මෙම සූක්ෂම වංචාව සම්බන්ධයෙන් තාක්ෂණික විමර්ශන සිදු කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා, පරිගණක හදිසි ප්‍රතිචාර ආයතනයේ (CERT) ප්‍රධානියා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පීඨාධිපතිවරයා නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කිරීමටද අධිකරණය අවසර ලබා දෙන ලදි .

විමර්ශනවල සංවේදී හා සූක්ෂමභාවය සැලකිල්ලට ගනිමින්, නඩු ගොනුව අධිකරණයේ සේප්පුවක බහා තබන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.