ඥානසාර හිමි අත්අඩංගුවට .

අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උන්වහන්සේට මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාව ලබා දී තිබුනි . ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැනවූ නඩුවක් මගින් එකී සමාව බල රහිත කිරිමත් සමග උන්වහන්සේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තු නිකුත් කර තිබුණි .

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයෙන් හැසිරීමේ වරදට අභියාචනාධිකරණය මගින් 2018 අගෝස්තු මාසයේදී ඥානසාර හිමියන්ට වසර 19 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් (වසර 6 කින් ගෙවී යන පරිදි) නියම කර තිබුණා.

සිරදඬුවම නියම වී මාස කිහිපයකට පසු එනම් 2019 මැයි මාසයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේට විශේෂ ජනාධිපති සමාවක් ලබා දෙමින් නිදහස් කිරීමට පියවර ගනු ලැබුවා.

අදාළ ජනාධිපති සමාව නීත්‍යනුකූල නොවන බවට පෙන්වා දෙමින් සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිසි ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් අත්තනෝමතිකව මෙම සමාව ලබා දී ඇති බව තීන්දු කරමින් එය බලරහිත කරන ලදි .

ජනාධිපති සමාව බලරහිත වීමත් සමඟ අභියාචනාධිකරණය මගින් නියම කරන ලද මුල් සිරදඬුවම යළි නීත්‍යනුකූලව බලාත්මක වන බැවින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමේ නියෝගය ක්‍රියාත්මක වුණා.