දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම මගින් අත් අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලා පෙරේරා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පස්වරුවේ නියෝග කළේය .
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම ඇප නියෝගය නිකුත් කළ අතර සැකකාරිය ලක්ෂ දහය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුද හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇයට විදේශ ගමන් තහනමක්ද පැනවීය . ඇප තැබීමෙන් පසුව සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වලකින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට අවවාද කළේය .
ජාතික ලොතරැයි මණ්ඩලය වෙත සම්මත ක්‍රමවේදයෙන් බැහැරව නිලධාරීන් තිදෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන, එම තිදෙනා එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායකගේ කාර්ය මණ්ඩලයේ සේවයට යොමු කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළැයි ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත. එම චෝදනාවට අදාලව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම විසින් ඊයේ (30) ඇය අත් අඩංගුවට ගන්නා ලදි .
එම බඳවා ගැනීම් යටතේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුමත ධූරාවලියේ නොමැති තනතුරක් සඳහා පුද්ගලයන් දෙදෙනෙකු සහ අනුමත ධූරාවලියේ ඇති තනතුරක් සඳහා පුරප්පාඩු නොමැතිව එක් අයෙකු වශයෙන් සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ කළමනාකරණ සහකාර නිලධාරියෙකු මෙලෙස කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇතැයි කොමිසම සඳහන් කරයි.
මෙලෙස පත්කළ නිලධාරීන් තිදෙනා එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ කාර්ය මණ්ඩල සේවයට යොමු කර ඇති අතර, ඔවුන් මඟින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත කිසිදු සේවයක් ලබාගෙන නොමැති බවද කෙමෙිසම පෙන්වා දෙයි.
එසේ තිබියදීත්, ජාතික ලොතරැයි මණ්ඩලයට කිසිදු සේවාවක් ඉටු නොකළ එකී තැනැත්තන් වෙත මණ්ඩලයේ ප්‍රතිපාදනවලින් වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීම තුළින් මෙම දූෂණය නමැති වරද සිදුකර ඇති බවට කොමිසම චෝදනා කරයි.