මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබී රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් හමුවී ඇතිබව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පැවසීය . ඔහු මේ බව පැවසූවේ එම මත්ද්‍රව්‍ය තොගය නීරීක්ෂණය කිරීමට පැමිණී අවස්ථාවේය .
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂාවේදී මෙම යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් බවට අනාවරණය වී ඇත .
අදාළ මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 04 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ගොඩබිමට රැගෙන ආ පසු අත්අඩංගුවට ගනු ලැබීය. යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 150 කට ආසන්න බරකින් යුක්ත වු බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ඊයේ (16) සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුර නාවික හමුදාව විසින් මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන ඇත . මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධව අදහස් දැක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මෙලෙස පැවසිය .
“විදේශීය නෞකාවකින් තමයි මේ මත්ද්‍රව්‍ය ලබා දීලා තියෙන්නේ අපි ළඟ ඒ තොරතුරුත් තියෙනවා ඒ අනුවත් අපි දැන් ජාත්‍යන්තර ලෙස කටයුතු කරනවා. මට දැන් දැනුම්දුන්නා කිලෝග්‍රෑම් 150කට එහා කියන්නේ අපි වීදි මුදලින් ගත්තොත් කෝටි 400කට වඩා වැඩියි. ඊටත් වඩා වැඩිවෙන්නත් පුළුවන්”