බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව රජයට ගෙවිය යුතු මුදල් ගෙවීමට අපොහොසත් වීමෙන්, හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පස්දෙනෙකු අධිකරණයට අපහාස කර ඇතැයි ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා (TISL) ආයතනය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත .
2026 මාර්තු 27 වැනිදා බාල ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ SC/FR/65/2023 නඩුවේදී ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවේ නියෝග ක්රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත .
ඒ අනුව, හිටපු සෞඛ්ය අමාත්යවරයා, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු සභාපතිවරයා සහ හිටපු ප්රධාන විධායක නිලධාරීවරයා මෙන්ම වෛද්ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂවරයාට එරෙහිව SC/Contempt/09/2026 යටතේ අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුතු ආරම්භ කරන ලෙස ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනට අධිකරණයෙන් ඉල්ලා සිටී .
අදාළ නඩුවේ තීන්දුව මගින් හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබූ අතර, අනෙකුත් වගඋත්තරකරුවන් සිව්දෙනාට එක් අයෙකු රුපියල් මිලියන 50 බැගින් ගෙවන ලෙස නියෝග කර තිබුණි .
අදාළ නඩුවේදී, හදිසි පදනමක් මත ඖෂධ මිලදී ගැනීමට අවශ්යතාවක් පැවති බව තහවුරු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බව ශ්රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබූ අතර පෞද්ගලික සැපයුම්කරුවකුගෙන් ඖෂධ මිලදී ගැනීමේදී අදාළ පාර්ශ්වයන් දැනුවත්ව ප්රසම්පාදන ක්රමවේද උල්ලංඝනය කර ඇති බවද එම තීන්දුවේ සඳහන් විය .
ඒ අනුව, වගඋත්තරකරුවන් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති නීතියේ සමාන ආරක්ෂාව ලැබීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බවට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි .