එළැඹෙන සැප්තැම්බර් 7 වැනිදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වාර්තාව මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබේ.
එම වාර්තාව මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක් පෙන්වා දෙන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ චෝදනා ගොනුකිරීමකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම් සිදුකිරීම හේතුවෙන් එම පනත සඳහා අත්හිටුවීමේ කාල සීමාවක් පනවා එය ඉක්මනින් අහෝසි කර නව නීතියක් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසය.
මෙම වාර්තාවේ සඳහන් පරිදි, වත්මන් රජය බලයට පත්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ වගවීම වැනි විශාල වෙනස්කම් සිදුකිරීමේ පොරොන්දුව මත බව සිහිපත් කර තිබේ.
එනමුත්, රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ චෝදනා ගොනුකිරීමකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම් සිදුවූ බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක් සඳහන් කර ඇත.
2025 වසර තුළදී එලෙස අත්අඩංගුවේ හෝ රඳවා තබා ගැනීමේදී සිදුවූ මරණ 18ක් සහ 2026 අප්‍රේල් මාසය වන විට එවැනි සිද්ධීන් 3ක් මෙන්ම, 2025 වසරේදී වධහිංසා පැමිණවීම සහ අමානුෂික ලෙස සැලකීම පිළිබඳ සිද්ධීන් 602ක් සහ 2026 අප්‍රේල් මාසය වන විට එවැනි සිද්ධීන් 138ක් ද වාර්තා වී ඇති බව එහි සඳහන්.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැනි නඩු කිහිපයක ප්‍රගතියක් තිබුණද, යුද සමයේ සිදුවූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර වගවීමක් සිදුව නැති බවත් මහකොමසාරිස්වරයා අවධාරණය කර තිබේ.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළු හමුදා සහ සිවිල් බුද්ධි අංශ නිලධාරීන් විසින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට එරෙහිව රාජ්‍ය මට්ටමේ ඔත්තු බැලීම්, බිය ගැන්වීම් සහ පළිගැනීම් සිදුකෙරෙන බවත් එහි සඳහන්.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය නිර්දේශ කරන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා අත්හිටුවීමේ කාල සීමාවක් පනවා එය ඉක්මනින් අහෝසි කර නව නීතියක් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසය.
උතුරු නැගෙනහිර හමුදාව භාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම, තවදුරටත් ඉඩම් පවරා ගැනීම් නැවැත්වීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගුකාලීනව රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීම ද මෙම වාර්තාව මගින් නිර්දේශිතය.
මීට අමතරව, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමාකරන මාර්ගගත සුරක්ෂිතතා පනත, (Online Safety Act), ICCPR පනත සහ කෙටුම්පත් කර ඇති NGO පනත සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම ද නිර්දේශ අතරට ඇතුළත් වේ.
බන්ධනාගාරවල අධික තදබදය හා ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ප්‍රතිසංස්කරණ සිදුකිරීම මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිරගත නොකර සෞඛ්‍යමය පුනරුත්ථාපනයකට යොමු කිරීම ද ජිනීවා මහකොමසාරිස්වරයාගේ නිර්දේශවල දැක්වේ.