එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිව්යෝර්ක් නගරයට පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට ගත හැකිද යන්න පිළිබඳව තමන් නගර බලධාරීන් සමඟ සාකච්ඡා කරනා බව නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි පවසයි.
ගාසා තීරයේ සිදුකළ මානව විරෝධී අපරාධ හේතුවෙන් නෙතන්හියාහු අත්අඩංගුවට ගැනීමට අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් මේ වනවිටත් වරෙන්තු නිකුත් කර ඇති බැවින් තමා මේ පිළිබඳව අවධානය යොමුකළබව නිව්යෝර්ක් නගරාධිපතිවරයා ‘නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පත සමග පැවති සාකච්චාවකට එක්වෙමින් පවසා ඇත.
“මම විශ්වාස කරන්නේ අග්‍රාමාත්‍ය නෙතන්යාහු සිටිය යුත්තේ හේග් හී පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ බවයි. ඔහු අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් චෝදනා එල්ල වී ඇති යුද අපරාධකරුවෙක්” යැයි මම්දානි සඳහන් කරයි.
පලස්තීන හිතවාදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියකු වන මම්දානි, තමන්ගේ නගරාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදීම නෙතන්යාහු නිව්යෝර්ක් පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා බවට ප්‍රතිඥා දී තිබිණි. නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට තමන්ට නෛතික බලයක් තිබේද යන්න පිළිබඳව නගරයේ නීති දෙපාර්තමේන්තුව සමඟ මේ වන විටත් සක්‍රීය සාකච්ඡාවල නිරත වන බව පැවසූ නගරාධිපතිවරයා, “නිව්යෝර්ක් නගරයේ නීතිය මගින් මට ඉඩ ලබාදෙන ඕනෑම දෙයක් කිරීමට අපි සූදානම්, නමුත් ඒ වෙනුවෙන් අපි අලුතින් නීති සම්පාදනය කරන්නේ නැහැ” යනුවෙන් ද ප්‍රකාශ පවසා ඇත .
මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ නගරාධිපති මම්දානි රහසින් “ඇමරිකාවට වෛර කරන” පුද්ගලයෙකු බව තමන් සිතන බවයි. එසේම, අත්අඩංගුවට ගැනීමේ තර්ජන මධ්‍යයේ වුවද නෙතන්යාහු සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට අනිවාර්යයෙන්ම සහභාගී වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් අවධාරණය කළේය.