ශ්‍රී ලංකාවට ආසන්නයෙන් නැංගුරම් ලා ඇති ඉරාන නෞකා සඳහා සැපයුම් හෝ වෙනත් පහසුකම් සැලසීමේ කිසිදු සූදානමක් රජයට නොමැති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මාධ්‍යට පවසා ඇත. ඊට හේතුව එම නෞකා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් පිටත පිහිටා තිබීම බව පවසේ .
කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට සහ එරට සම්බාධක පනවා ඇති පාර්ශව සමඟ ගනුදෙනු කරන ආයතනවලට එරෙහිව පනවා ඇති සම්බාධක පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති බැවින් ශ්‍රී ලංකාව මේම තීරණයට එලඹීමට හේතුවක් බව දේශපාලන විචාරකයෝ පවසති .
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහජන රාජ්‍යදූත අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොඩ්‍රිගෝ පවසනුයේ එම නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් සැතපුම් 12 ක් පමණ ඔබ්බෙන් නැංගුරම් ලා ඇති බවයි . එබැවින් එම නෞකා සඳහා සැපයුම් හෝ පහසුකම් ලබාදීමේ කිසිදු සැලසුමක් රජයට නොමැති බව ද ඔහු වැඩිදුරටත් පවසයි.
වොෂිංටනය විසින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ප්‍රචාරණය දැඩි කිරීමත් සමඟ ඉරානයට අයත් සහ ඉරානයට සම්බන්ධ තෙල් නැව් ශ්‍රී ලංකාව සහ ආසියාවේ සෙසු ප්‍රදේශ ආසන්න මුහුදේ අතරමං වී ඇති බවට පළවූ අන්තර්ජාතික වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළකර ඇත.
පසුගිය සතියේ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කර තිබුණේ ඉරාන තෙල් නැව් 20 ක් පමණ ශ්‍රී ලංකාව සහ මැලේසියාව ආසන්නයේ අතරමං වී ඇති අතර, ඉන් කිහිපයකම ආහාර, ඉන්ධන සහ පිරිසිදු පානීය ජලය ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් හිඟ වී ඇති බවයි. සම්බාධක පනවා ඇති මෙම නෞකාවලට සැපයුම් ලබාදීමෙන් දේශීය සමගම් වළක්වන ලෙස ඇමෙරිකානු නිලධාරීන් ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇති බවත්, එසේ නොවුණහොත් ද්විතීයික සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබිණි.