ඉන්දීය සමාගම් දෙකක් ඩොලර් අතහැර චීන මුදල් මගින් ඉරානයෙන් තෙල් මිලට ගනී .

චීන ‘යුවාන්’ මුදල් ඒකකය භාවිත කරමින් ඉරානයෙන් බොරතෙල් මිලදී ගැනීම සඳහා ඉන්දීය තෙල් සමාගම් දෙකක් කටයුතු කර ඇතිබව වාර්තා වේ .

ඇමරිකාව ලබා දී ඇති තාවකාලික සහන කාලය ප්‍රයෝජනයට ගනිමින් ‘ඉන්ඩියන් ඔයිල්’ (IOC) සහ ‘රිලයන්ස්’ (Reliance) වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් මෙලෙස යුවාන් මුදල් ඒකකය යොදාගෙන ඉරානයෙන් තෙල් මිලට ගැනීමට කටයුතු කරමින් සිටිනා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

මුම්බායි හි පිහිටි ICICI බැංකුව හරහා සිදුකරනා මෙම ගණුදෙනුවේදී මුලින්ම ෂැංහයි හි බැංකු ගිණුම් වෙත මුදල් ප්‍රේෂණය කෙරෙන අතර, අනතුරුව ඒවා ඉරාන විකුණුම්කරුවන්ගේ ගිණුම් වෙත බැර කෙරේ .

තාවකාලික සහන හිමිව තිබුණද, ඉරානය සමඟ සිදුකරන ගනුදෙනු සඳහා සම්මත බැංකු පද්ධති භාවිත කිරීමේදී පවතින දැඩි බාධාවන් හේතුවෙන් ගැනුම්කරුවන් මෙවැනි විකල්ප මූල්‍ය මාර්ග වෙත යොමු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට ඇමරිකාව ලබා දී ඇති මෙම තාවකාලික සහන කාලය ඉතා ඉක්මනින් අවසන් වීමට නියමිතය.