අධිකරණය මගහැර රටපැන්න ප්‍රේමලාල් ජයසේකර දුටු තැන අල්ලන්න වරෙන්තු .

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් මෙම වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ද නියෝග කර ඇති බව සඳහන්.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී ප්‍රේමලාල් ජයසේකර අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු විදේශගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දී ඇත .

ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කර ඇත .

2015 ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ කහවත්ත ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කරනා ලදි. එහෙත් ඊට එරෙහිව ගොනුකළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය පසුව ඔවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය .

එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක විභාගය පසුගිය සැප්තැම්බර් 4 වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, විත්තිකරුවන් තිදෙනාට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබුණි.