රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අධිකරණයට අපහාසයක් සිදුකළේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිළිත් ජයවීරට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් කර ඇති පැමිණිල්ල අභියෝගයට ලක් කරමින් ගොනු කළ රිට් පෙත්සම තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් 18 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (14) නියෝග කළේය .
සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේ දෙවන දිනයටයි.
එහිදී පෙත්සම්කාර දිලිත් ජයවීර වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය සේවාදායකයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම උදෙසා අදාළ රූපවාහිනී වැඩසටහන විවෘත අධිකරණයේදී දර්ශනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය .
එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, ඊට අදාළ වීඩියෝ පටය අධිකරණය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සපයන ලෙස අභියාචනාධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කරන ලදි .
මෑතකදී රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර දැක්වූ අදහස් මගින් අධිකරණයේ ගෞරවයට හානියක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් අදාළ පැමිණිල්ල යොමු කරනු ලැබීය .
කොටුව මහෙස්ත්‍රාත්වරයාගේ එම ක්‍රියාකලාපය සහ පැමිණිල්ල නීතියට පටහැනි බව පවසමින් එය බලරහිත කරන ලෙස ඉල්ලා දිලිත් ජයවීර විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම රිට් පෙත්සම ගොනු කර ඇත .