ශ්‍රම වෙළඳපොල ඉලක්ක කරගත් වැඩපිළිවෙලට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහාය

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (International labour organization) අධ්‍යක්ෂ ජනරාල් Gilbert F Houngbo මහතා හමු වී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජිනීවා නුවර දී මේ වන විට පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ, වාර්ශික ජාත්‍යන්තර කම්කරු සමුළුව අතරවාරයේ දී අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර සාකච්ඡාව ඊයේ (10) පැවැත්වුණා.

එම සාකච්ඡාව අතරතුර දී වතු කම්කරුවන්ගේ වැටුප 70%කින් වැඩිවීම ඇතුළුව ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රතිසංස්කරණ පිළිබඳව අමාත්‍යවරයා පැහැදිලි කර දී තිබෙනවා. එහි දී වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා 70%කින් ඉහළ දැමීම පිළිබද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයා ඇගයීමට ලක් කර තිබෙනවා.

තව ද ඔහු මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට සිය ප්‍රසාදය පිරිනමමින් පැවසා ඇත්තේ වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ ක්‍රියාවලිය තුළ දී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමාජ සංවර්ධන මූලධර්මය පිළිපැදීම සම්බන්ධයෙන් සතුටුවන බවයි.

ශ්‍රම වෙළදපොල ප්‍රමිතීන් සහ රැකියා තත්වයන් වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සහ ඒ සඳහා වන කැපවීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එම අවස්ථාවේ දී කරුණු පැහැදිළි කළා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය් සී 188 වැනි ධීවර සම්මුතිය අපරානුමත කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහි දී පැහැදිලි කළ අතර එය කඩිනමින් අපරානුමත කිරීමට කටයුතු කරන බව ද පැවසුවා.

සී 155 දරණ වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සම්මුතිය, සී 189 දරණ ගෘහ සේවක සම්මුතිය, සී 190 දරණ සේවා ස්ථානයේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීමට එරෙහි සම්මුතිය අපරානුමත කිරීම සඳහා ගෙන ඇති පියවර ද අමාත්‍යවරයා එහි දී පැහැදිළි කළා.

රැකියාවක් අහිමි වීමේ දී ප්‍රතිලාභ ලබාදීම, මාතෘ ප්‍රතිලාභ සහ සේවා ස්ථානයේ දී සිදුවන අනතුරු සඳහා රක්ෂණයක් ලබාදීම වැනි කරුණු ඇතුළත් කරමින් ආරම්භ කරන සමාජ ආරක්ෂණ ක්‍රමවේදය පිළිබඳව පැහැදිළි කළ අමාත්‍යවරයා සමාජ ආරක්ෂණ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සඳහා සහාය ලබාදෙන ලෙසට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියා.

ජාතික කම්කරු වෙළදපොළ තොරතුරු පද්ධතිය පිළිබඳව සහ ශ්‍රම වෙළදපොළෙහි ප්‍රතිසාධන සහ උපායමාර්ග අධීක්ෂණය කිරීමට සහ ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ ඉහළ පෙළේ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවයි මනුෂ මහතා සදහන් කළේ.

මීට අමතරව සත්කාරක සහ සාත්තු සේවක පුහුණු කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය සමග එක්ව ගනු ලබන පියවර පිළිබඳවත් අමාත්‍යවරයා පැහැදිලි කරනු ලැබුවා.

මේ හරහා කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස්කොට සැලකීමේ භාවිතයන් ඉවත් කිරීම සඳහා ලංකාවේ කාන්තාවන්ට යහපත් සේවා කොන්දේසි සහතික කිරීමත් සිදු කරන බවයි මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේ.

ශ්‍රම වෙළඳපොල ඉලක්ක කරගනිමින් ගෙන යන වැඩපිළිවෙල සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බවටත් මෙහි දී එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අමාත්‍යවරයා ඉදිරියේ සහතික වී තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත හිමාලි අරුණාතිලක, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බාලසුබ්‍රමනියම් චසන්තන්, කම්කරු කොමසාරිස් ජනරාල් ජයසුන්දර, අමාත්‍යවරයාගේ උපදේශක ශාන් යහම්පත් යන මහත්ම මහත්මීන් එක්ව සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!