වනවාසල දුම්රිය පීළි පනීමට හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව හෙළිවෙයි .

අද අළුයම වනවාසල දුම්රිය ස්ථානයට නොදුරුව සිදුවූ බිහිසුණු දුම්රිය පීළි පැනීමට හේතුව දුම්රිය මාරු කිරීමට යොදාගන්නා ”පොයින්ට්” එකේ කොටසක් කිසියම් පිරිසක් ඉවත්කිරීම බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් අප වෙබ් අඩවියට පැවසීය .

අරුවක්කාලුව කසළ රැඳවුම වෙත කසළ ප්‍රවාහනය සඳහා කසල රැඳවුම වෙත ඉදිකර ඇති දුම්රිය මාර්ගය සහ ප්‍රධාන මාර්ගය සම්බන්ධ කරනා මෙම පොයින්ට් එක ක්‍රියාකරවන ලෝහ දන්ඩ ( Shaft ) කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඉවත්කර තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඔහු සඳහන් කළේය .

මෙවැනි පොයින්ට් විදුලි මෝටරයක් ආශ්‍රයෙන් ක්‍රියාත්මක බවත්, එහි ක්‍රියාකාරීත්ත්වයට අත්‍යාවශ්‍ය මෙම දණ්ඩ වෙනස් කළ හැකි ආකාරයෙන් සකසා ඇති බවත්, පුද්ගලයෙක් හෝ කණ්ඩාමයම් එය ඉවත් කිරීම හේතුවෙන් මෙම බිහිසුණු අනතුර සිදුව ඇතිබවත් ඔහු සඳහන් කළේය.

දුම්රිය මාර්ග පිහිටීම වෙනස් කරනා මෙම ෂාෆ්ට් එක ඉවත් කළ පසු දුම්රිය මාර්ගයේ ස්ථාවර බව වෙනස් වෙයි . ඒ හේතුවෙන් දුම්රියක් ගමන් කිරීමේදී ඇතිවන කම්පනය නිසා මාර්ගයේ පිහිටිම වෙනස් වන බවත් ඔහු සඳහන් කළේය . එලෙස මාර්ගයේ වෙනස් වීම නිසා අනතුරට පත් දුම්රියේ මැදිරි දෙකක් කසළ රැඳවුම කරා ඉදිකර ඇති මාර්ගයට යොමුවී ඇතිබව පැහැඳිළිව දක ගත හැකි බවත් ඔහු පෙන්වාදුන්නේය .

එම හේතුවෙන් දුම්රිය පීළි පැනිමට ලක්ව ඇතිබවත්, මෙම අනතුරින් මාර්ගයට සහ මැදිරිවලට බරපතල හානි සිදුව ඇතිබවද ඔහු පෙන්වාදුන්නේය. මෙම අනතුර අළුයම් කාලයේ සිදුවීම සහ අනතුරට පත් දුම්රිය මන්දගාමී එකක් වීම නිසා තුවාලකරුවන් සංඛ්‍යාව අවම මටමක තබාගැනීමට හැකිවූ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි .

යම් හෙයකින් සීඝ්‍රගාමී කාර්යාල දුම්රියක් හෝ තැපැල් දුම්රියක් මෙම අනතුරට පත්වූයේ නම් කිහිප දෙනෙක් මියයන තරමට අනතුර බාරපතල වනු ඇති බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි .