කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් 2025 වසරට අදාළව ඉදිරිපත්කළ වත්කම් බැරකම් ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාලයන්හී දැඩි කතාබහට ලක්වෙමින් තිබේ . ඊට හේතුව මෙම ලේඛනයේ තොරතුරු අමාත්‍යවරයා විසින් මීට පෙර සිදුකළ ප්‍රකාශ සහ ඔහුගේ වත්කම් සමග නොගැලපීමය .
අමාත්‍ය ලාල් කාන්තගේ වත්කම් ප්‍රකාශය මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල විසින් 2025 දෙසැම්බර් 26 වන දින සහතික කර ඇත . පසුගිය කාලයේ අන්දෝලනයට ලක් වුන අමාත්‍යවරයාගේ කඩුවෙල වැලිවිට පිහිටි තුන්මහල් නිවස මෙම වත්කම් බැරකම් ප්‍රකාශයට ඇතුළත් කර නැතිබව සමාජ මාධ්‍ය පරිශිලකයෝ පෙන්වා දෙති .
එම නව නිවස සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, තමා එහි පදිංචියට ගියේ 2024 වසරේ අග භාගයේදී බවයි. ඒ අනුව 2025 දෙසැම්බරයේ සකස් කර ඇති වත්කම් ප්‍රකාශයට එම නිවස ඇතුළත් නොවීම සමාජ මාධ්‍ය පරිශීලකයෝ ප්‍රශ්ණ කරති .
කෙසේ වෙතත් මෙම ලේඛනයට අනුව අමාත්‍යවරයා සතු බව කියන නිශ්චල දේපළ අතර රුපියල් ලක්ෂ 670ක පමණ වටිනාකමකින් යුත් ගොඩනැඟිලි සහ ඉඩම් පිළිබඳව තොරතුරු දැක්වෙයි . ඊට අමතරව රුපියල් ලක්ෂ 46ක් පමණ වටිනා රන් පවුම් සහ ආභරණ ද ඔහු සතුබව එම ප්‍රකාශයේ සඳහන් වෙයි .
ඔහු සතු රුපියල් ලක්ෂ 45ක් වටිනා මෝටර් රථය මිලට ගෙන ඇත්තේ මිතුරෙක් ලබාදුන් මුදලකින් බව එහි දැක්වෙයි . කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සමාගම් 10 ක ඔහු මුදල් ආයෝජන සිදුකර ඇති බවත්, බැංකු ගිණුම්වල ඉතුරිම් ලෙස රුපියල් ලක්ෂ 9 ඇති බවත් එහි දැක්වෙයි .
එක්කෝටි පහළොස් ලක්ෂ අනූ දහස් අනූ හතක මුදලක් නිවසක් ඉදි කිරීම වෙනුවෙන් ගෙවීමට ඇති ණයක් ලෙස පවතින බවයද එහි දැක්වෙයි . එම ණය 2025 වසරේ මැයි මාසයේ 26 වන දින අමාත්‍යවරයා විසින් ලබාගෙන ඇති එකක් වන අතර, මෙම ලියවිල්ලේ සඳහන් වන ආකාරයට එම ණය ගිවිසුම 2026 පෙබරවාරි 26ට පෙර ගෙවිය යුතුව ඇත .