ප්‍රසම්පාදන ක්‍රියාවලියට බාහිරව රුපියල් මිලියන 1524.44ක (කෝටි 152කට අධික) මුදලක් වැය කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් බී. විජයරත්න අද (1) උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ ඇත.
මෙම ගොඩනැගිල්ල ප්‍රකට නිළියකට සහ ඇගේ සැමියාට අයත් බවත්, එය 2015-2019 කාලසීමාව සඳහා කුලියට ගැනීමට තීරණය කළ පාර්ශ්වයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව ද මීට පෙර නිර්දේශ කර තිබිණි.
විගණන වාර්තාවලට අනුව, කෘෂිකර්ම අමාත්‍යාංශය සතු බත්තරමුල්ල ප්‍රදේශයේ හෙක්ටයාර එකක භූමියක නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම පසෙකින් තබා, මෙම පෞද්ගලික ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට රුපියල් මිලියන 21 බැගින් වසර 5ක් සඳහා රුපියල් මිලියන 1260ක (කෝටි 126ක) කුලියක් ගෙවීමට එකඟ වී ඇත.