ශ්‍රීධරන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ඉලංකෛයි තමිල් අරසු පක්ෂයේ, නායකයා ලෙස තේරී පත්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සිවඥානම් ශ්‍රීධරන් එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස් වීමේ ලිපිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මාවයි සේනාධිරාජා හා පක්ෂයේ පාලනාධිකාරිය වෙත යවා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉකුත් දා, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන ම දේශපාලන පක්ෂය වන ඉලංකෛයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා නියෝජිතයන් අතරේ පැවැති ඡන්ද විමසුමකින් සිවඥානම් ශ්‍රීධරන් මහතා එම තනතුරට තේරී පත් වුණා.

කෙසේ වෙතත් පක්ෂයේ ජාතික මහා සම්මේලනය පසුගියදා ත්‍රිකුණාමලයේ දී පැවැත්වීමට සූදානම්කර තිබුණු අතර නව නායකයා නිල වශයෙන් පත්කිරීම ද මෙදින සිදුකිරීමට නියමිතව තිබුණත්, පක්ෂය මධ්‍යම කාරක සභාව රැස් වූ ආකාරයත්, නායකත්වය තෝරාගත් ආකාරයත් පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව කියමින් පක්ෂ නියෝජිතයකු විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවකට අනුව ලබාදුන් තහනම් නියෝගයක් මත එය නොපැවැත් වුණා.

මෙවන් තත්ත්වයක් මැද තම පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි වීමත්, ඒ හේතුව මත තමන් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවත්, ලබන (05) පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා යළි නායකයා පත්කර ගන්නා ලෙසත්, ඉල්ලමිනුයි ශ්‍රීධරන් මන්ත්‍රිවරයා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී ඇත්තේ.

කෙසේ නමුත් පක්ෂ නායකත්වය සඳහා පවත්වන මීළඟ ඡන්දයට ද තමා ඉදිරිපත් වන බවයි ශ්‍රීධරන් මහතා පක්ෂයේ පාලනාධිකාරිය වෙත දැනුම් දී ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!