ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය . එහිදී සියලු සාමාජිකයන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඉදිරි හදිසි ක්රිකට් නිලවරණයකට අවස්ථාව සැලසීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවනු ඇතැයි ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.
පසුගිය වසරේ පැවති නිලවරණයේදී සභාපති තනතුරට පත් වූ ෂම්මි සිල්වා ඇතුළු වත්මන් විධායක කමිටු නිලධාරීන්ගේ ධුර කාලය ලබන වසර දක්වා ක්රියාත්මකව පවතියි .
වත්මන් ක්රිකට් ආයතන සභාපති ෂම්මි සිල්වා ඇතුළු ක්රිකට් විධායක සභාව ඉල්ලා අස්වුවහොත් ශ්රී ලංකා ක්රිකට් පරිපාලනය සඳහා කෙටිකාලීන අතුරු පාලක කමිටුවක් පත්කිරීමට නියමිතව ඇති අතර, එම අතුරු පාලක කමිටුව විසින් විශේෂ මහ සභා රැස්වීමක් කැඳවා නිලවරණ කමිටුවක් පත්කොට ශ්රී ලංකා ක්රිකට් ඉදිරි නිලවරණය සංවිධාන කළ යුතු වේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ වත්මන් සභාපති ෂම්මි සිල්වා මුල් වරට 2019 වසරේ පෙබරවාරි මාසයේ දී ක්රිකට් සාමාජික සංගම්වල බහුතර ඡන්දයෙන් තේරී පත්විය . ඉන් අනතුරුව පැවති ක්රිකට් නිලවරණ තුනකදී බහුතර සංගම්වල කැමැත්ත මත ශම්මි සිල්වා ක්රිකට් සභාපති තනතුරට තුන්වතාවක් පත්වීම කැපීපෙනිණි.