විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ දරුවන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ – 2023 විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ දරුවන් වෙනුවෙන් නිකුත් කරනු ලබන “ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රථම උපාධිය සඳහා ප්‍රවේශය” අත්පොත මෙවර මුද්‍රිත පිටපතක් වශයෙන් නිකුත් නොකරන බවත් පොත් අලෙවිසල්වලින් එය මිලදීගත නොහැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම්දෙනවා.

එම අත්පොත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් බාගත කළ හැකි බවයි එම කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාරය සම්පත් අමරතුංග මහතා දන්වා සිටින්නේ.

රුපියල් 1,000ක මුදලක් බැංකුවට බැර කර හෝ කාඩ්පත් මගින් ගෙවා එම ශිෂ්‍ය අත්පොත www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිස බාගත කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටිනවා.

ඒ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති වුවහොත් 0112695301 හෝ 0112695302 යන දුරකතන අංකවලට අමතා තොරතුරු ලබාගත හැකි‍යි

මෙම මස 14 වැනිදා සිට ජුලි මස 5 වැනිදා දක්වා එම වෙබ් අඩවිය මගින් ශිෂ්‍යයන්ට අන්තර්ජාලය ඔස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත සිය අයැදුම්පත්‍රය යොමු කිරීමට අවස්ථාව ලැබෙනවා.

එම අයැදුම්පත යොමු කිරීමෙන් අනතුරුව ඉල්ලුම් කළ විශ්වවිද්‍යාලයන්ගේ හෝ විෂය ඒකකයන්ගේ අනුපිළිවෙළ තම අභිමතය පරිදි නැවත වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ජුලි මස 5 වැනිදා සිට ජූලි මස 19 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇති බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

විශ්විවිද්‍යාල ප්‍රවේශය සදහා ශිෂ්‍ය කඩඉම් ලකුණු නිකුත් කිරීම අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුලදී සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන්නේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!