මාළිමාවේ නියෝජිතයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පහසුකම් දෙන්නට බෑ.

ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් ලෙස දේශපාලන නියෝජිතයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකට ලිඛිතව දැනුම් දී තිබේ.

ජනාධිපති කාර්යාලය නම් කර ඇති මෙම පුද්ගලයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුටුවක්, මේසයක් ඇතුළු භෞතික පහසුකම් ලබා දීමට නොහැකි බව ද එමගින් අවධාරණය කර ඇත.

දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක තබාගෙන අවංක මහජන සේවයක් ලබා දිය නොහැකි බව පවසන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපෑමක් නොකර මෙම තීරණය ඉවත් කර ගන්නා ලෙසට ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා ඇත.