මනුෂ්‍යත්ත්වය ඉහළින්ම තබන්නට හැකි සමාජයක කාන්තාවගේ අයිතීන් සුරක්ෂිතයි .

මනුෂ්‍යත්වයට ගරු කරන්නට හැකි නම්, මනුෂ්‍යත්වය ඉහළින්ම තබන්නට හැකි නම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව විශේෂයෙන්ම කතා කරන්නට අවශ්‍ය වන්නේ නැති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

මනුෂ්‍යත්වය ඉහළටම ඔසවන තැනට පත්වීමට කාලයක් ගතවන බැවින් ඒ ඒ මොහොතේ පවතින පද්ධතීන් තුළ, ආයතන තුළ එම අයිතිවාසිකම් හා සාධාරණත්වය වෙනුවෙන් කතා කරමින් ප්‍රතිසංස්කරණ ගෙන ඒ්මට සිදුවෙන බව ද ඔහු පවසීය.

කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යයන්තර කාන්තා දින සැමැරුම් උත්සවයට සමගාමීව පසුගිය 11 වනදා නාරාහේන්පිට “මෙහෙවර පියසේදී” පැවැති උත්සවයේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය .

ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂිකා ජොනි සිම්ප්සන් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියාය . වැඩි දුරටත් සභාව අමතමින් ඇමැතිවරයා මෙසේ පැවසීය.

”මෙවර ජාත්‍යන්තර කාන්තා සැමරුම් තේමාව (Right – Justice & Actions) අයිතිවාසිකම්, සාධාරණත්වය සහ ක්‍රියාමාර්ග යන්නයි. මේ පිළිබඳ කිසිදු විවාදයක් කාටවත් නැහැ. අයිතිවාසිකම්, සාධාරණත්වය සහ ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග කාන්තාවන් වෙනුවෙන් ගත යුතු වෙනවා. අපේ දේශපාලන තේමාවත් පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්. ඒ් තේමාව මල්ඵල ගැන්වෙනකොට කිසිදු ආකාරයක අයිතිවාසිකම් පිළිබඳ, සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්න ඉතුරු වෙන්න බැහැ. ඒවා ටිකෙන් ටික විසඳිලා එන්න ඕනේ. එවැනි සමාජයක ආයේ අලුතින් අයිතිවාසිකම් හෝ සාධාරණත්වය පිළිබඳ කතා කරන්න දෙයක් නැහැ. සියල්ල ඉෂ්ඨ වෙනවා. පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ගත කරන්න, සුන්දර ලෝකයක් ගැන ප්‍රාර්ථනා කරන්නේ, ඒ වෙනුවෙන් තමයි වැඩ කටයුතු කරන්නේ.

ඒත් අපිට මේවා ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි අයිතිවාසිකම්, සාධාරණත්වය පිළිබඳ කතා කළොත් කාගෙන්ද මේ අයිතිවාසිකම් ඉල්ලන්නේ . කාගෙන්ද සාධාරණත්වය ඉල්ලන්නේ . කවුද සාධාරණත්වය නොදී ඉදලා තියෙන්නේ . කවුද ඒ අයිතිවාසිකම් නොදී හංගන් ඉදලා තියෙන්නේ . කියන ප්‍රශ්නය ඇහුවොත් අපි ටිකක් ගැටලුවකට මුහුණ දෙනවා. මෙතන ඉන්න කවුරුත් ඒ අයිතිවාසිකම්වලට, ඒ් සාධාරණත්වයට විරුද්ධ ද . නැහැ. අපි කවුරුත් කියන්නේ ඒක ඕනේ කියලා. මීට වඩා ලොකු ෆෝරම් එකකට ගියොත් දිස්ත්‍රික්කයකට, අමාත්‍යාංශයකට, ඕනේම ආයතනයකට ගිහින් කතා කළොත් ලෝක පරිමාණයෙන් කවුරුහරි පුද්ගලයෙක් නොපැකිලිව නොබියව, කාන්තාවන්ට එහෙම අයිතිවාසිකම් දෙන්න ඕනේ නැහැ කියලා කියනවා නම් කියන්න ඕනේ ඉතාම අතලොස්සක්. එහෙම කෙනෙක් හොයාගන්න බැරිවෙයි. සමහරවිට අන්තවාදී එක්කෙනෙක් දෙන්නෙක් කියන්න පුළුවන් කාන්තාවන්ට එහෙම අවශ්‍ය නැහැ. එයාලා යටත් වෙලා ඉන්න ඕනේ කියලා තර්කයක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා.

නමුත් අද අපි ජීවත් වෙන තාක්ෂණය දියුණු වුණු සමාජයේ මානවයාට ගරු කරන සමාජයේ මනුෂ්‍යත්වයට ගරු කරන සමාජයේ විවිධ දේවල් තියෙන සමාජයේ කවුරුත් ඒකට විරුද්ධ නැහැ. විරුද්ධ නැත්නම් ඒවා ස්ථාපිත වෙලා තියෙන්න ඕනේ. හැබැයි විරුද්ධ නැති වුණාට ප්‍රශ්නයක් තියෙනවා, අයිතිවාසිකම් ටිකත් නැහැ, ඒ පිළිබඳ ප්‍රශ්න අනන්ත තියෙනවා.”

ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂිකා ජොනි සිම්ප්සන් සභාව ඇමතමින් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය හමුවේ කාන්තාවගේ රැකියා අවස්ථා පිරිමින්ට සාපේක්ෂව වැඩි අවධානමකට ලක්ව ඇතිබව සඳහන් කළාය .

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නවතම දත්තයන්ට අනුව ජනක කෘතිම බුද්ධිය (Generative AI) හේතුවෙන් ලොව පුරා රටවල් 88ක කාන්තාවන් පිරිමින්ට වඩා රැකියා අවදානමකට නිරාවරණය වී ඇති බවයි පැවසූවාය . මෙයට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ කාන්තාවන් වැඩි වශයෙන් ලිපිකරු, පරිපාලන සහ සහායක භූමිකාවන්හි නියුතු වීම බව පැවසූ ඇය, එම රැකියා බොහොමයක් ස්වයංක්‍රීයකරණය හරහා ප්‍රතිස්ථාපනය වීමේ වැඩි ඉඩක් පවතින බැවින්, මෙම වෘත්තීය වෙන්කිරීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කළාය .

ගරු අමාත්‍යවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව විසින් ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් පිළිබඳ ILO අංක 190 දරන සම්මුතිය අපරානුමත කිරීම අගය කරනා බවත්, මෙමගින් සෑම සේවකයෙකුටම හිරිහැරවලින් තොර ආරක්ෂිත සේවා පරිසරයකට ඇති අයිතිය තහවුරු වන බව ඇය පැවසූවාය . කෙසේ වෙතත් එහි ප්‍රතිලාභ සෑම අංශයකටම ලැබෙන සේ ක්‍රියාත්මක කිරීම වර්තමානයේ අප මුහුණ දෙමින් සිටිනා ප්‍රධාන අභියෝගය බවද ඇය පවසූවාය .

සත්කාරක ආර්ථිකයේ වැදගත්කම නොගෙවන සත්කාරක වැඩ (Unpaid Care Work) කාන්තාවන්ගේ කර මත පැටවීම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනා බව පෙන්වා දුන් ඇය, සත්කාරක සේවා සඳහා ආයෝජනය කිරීමෙන් 2035 වන විට නව රැකියා අවස්ථා 860,000 කට අධික ප්‍රමාණයක් බිහි කළ හැකි බව සඳහන් කළාය . එමගින් ජාතික ශ්‍රම බලකායට කාන්තා සහභාගීත්වය ඉහළ නැංවිය හැකි බව ඇය පෙන්වා දුන්නාය..