පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ගන්න ආණ්ඩුවෙන් වවුචරයක්

වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීමේ වැඩසටහනක් මෙම වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ වුණා.

ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සමස්තය අතරින් වතු පාසල් කාණ්ඩයට අයත් ජාතික පාසල් 07 සහ සියලු‍ පළාත් පාසල්වලට අයත් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සඳහා ජුනි මාසයේ සිට මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක් නොමිලේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එක් සිසුවියකට රු.1200.00ක් වටිනා තිළිණපතක් ලබා දෙනු ලබන අතර එම තිළිණපත පාසල් හරහා සිසුවියන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබෙනවා.

මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මගින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්ත වෙනවා. එය රු. 600.00ක වටිනාකමින් යුත් ‘ඒ‘ හා ‘බී‘ ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර පළමුව එහි ‘ඒ‘ කොටසේ වලංගු කාලය ජුනි 10 වැනිදා සිට ජූලි 10 වැනිදා දක්වා පවතිනවා.

‘බී‘ කොටස භාවිත කළ හැකි වන්නේ සැප්තැම්බර් 01 වැනිදා සිට සැප්තැම්බර් 30 අතර කාල සීමාවේ දී බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මෙම වැඩසටහන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ මගපෙන්වීම අනුව ක්‍රියාත්මක වෙනවා.

මේ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.

පාසල් තුළ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක ව පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හා සෞඛ්‍යවත් යහ පැවැත්මට ඉහවහල් වන පහසුකම් ලබා දීමේ අරමුණින් මෙම සනීපාරක්ෂක වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.

සිසුවියන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමත් ආර්ථව සමය තුළ ඔවුන් මුහුණ දෙන ගැටලු‍ හා සෞඛ්‍යමය නොදැනුම්වත්භාවය හේතුවෙන් අධ්‍යාපනය සඳහා නිසි අවධානයක් යොමු නොවීම වැනි අහිතකර තත්වයන් වලක්වාගැනීමත් මෙම වැඩසටහබ මගින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!