ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බැවින්, ඔහුට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙස එම පක්ෂයේ විධායක සභික එච්.එම්.පී. හේරත් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇතිබව වාර්තා වේ .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
පක්ෂ මහලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ, මධ්‍යම කාරක සභාවේ කිසිදු අනුමැතියකින් තොරව පක්ෂ අරමුදල් වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගේ ඇප මුදල් තැන්පත් කිරීම සඳහා යෙදවා ඇති බව එම ලිපියේ සඳහන් වෙයි .
මහලේකම් ධුරයෙන් ඉවත් කර සිටි වකවානුවක සහ පක්ෂයේ කටයුතු අක්‍රීය මට්ටමක පැවති පසුබිමක, 2024 මහමැතිවරණය වෙනුවෙන් පක්ෂයේ පොදු අනුමැතියකින් තොරව මහලේකම්වරයා ලෙස පෙනී සිටිමින් විවිධ ගිවිසුම්වලට අත්සන් තබා ඇතිබවත්, එය නීති විරෝධි බවත් එච්.එම්.පී. හේරත් සිය ලිපියේ සඳහන් කරයි .