දකුණු කොරියාවට අසූචි පිරුණු බැලූන් වැස්සක්

කුණු කසළ සහ අසූචිවලින් යුතු විශාල බැලූන් කිහිපයක් දකුණු කොරියාවේ විවිධ ප්‍රදේශවලට ඉහළින් දක්නට ලැබුණ බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම බැලූන් උතුරු කොරියාව විසින් එවන ලද්දක් බව විදෙස් මාධ්‍යයේ වැඩිදුරටත් සඳහන්.

එම බැලූන් තුළ අපිරිසිදු අපද්‍රව්‍ය අඩංගු බැවින් එළිමහනට යාමෙන් වළකින ලෙසත් හඳුනා නොගත් වස්තූන් ස්පර්ශ නොකරන ලෙසත් එරට බලධාරීන් ජනතාව වෙත අනතුරු අඟවා තිබෙනවා.

උතුරු කොරියාව අවම වශයෙන් එවැනි කසළ රැගත් බැලූන් 260ක් පමණ දකුණු කොරියාවට පා කර එවා ඇතැයි සැක කෙරෙනවා.

දකුණු කොරියාවේ පළාත් නවයකින් පමණ මෙම බැලූන් සොයාගෙන ඇති අතර එරට බලධාරීන් ඒවා විශ්ලේෂණය කරමින් පවතිනවා.

සමාජ මාධ්‍යවල හුවමාරු වූ ඡායාරූප මගින් පැහැදිලි වන්නේ එම බැලූන්වල වැසිකිලි කඩදාසි, මලපහ, පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය පවතින බවයි.

දකුණු කොරියානු හමුදාව මෙම ක්‍රියාව “පැහැදිලි ලෙස ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්” ලෙස හෙළා දකින බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම එමගින් සිය රටේ ජනතාවගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල කරන බවත් බැලූන් හේතුවෙන් සිදුවන අයහපත් ප්‍රතිඵලයන්ට උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් මෙම අමානුෂික හා අශෝබන ක්‍රියාව වහාම නතර කරන ලෙස අපි උතුරු කොරියාවට දැඩි ලෙස අවවාද කරන බවත් දකුණු කොරියානු හමුදාව චෝදනා කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!