ගෝඨාගේ පොතේ පච ගැන ගම්මන්පිළගෙන් විචාරයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් දා පළ කරන ලද ‘ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’යන කෘතිය සම්බන්ධයෙන්, ඔහුගේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ උදය ගම්මන්පිල මහතා අදහස් පළ කර තිබෙනවා.

අද (11) කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, එහි ඇත්ත සහ බොරුව යන දෙක ම අන්තර්ගත බවයි.

ඒ බව සඳහන් කළ ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේ,

‘ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් රචිත “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” කියන පොතේ කිහිප තැනකම සෘජුව වගේම වක්‍රවත් අපි ගැන සඳහන් කරලා තිබෙන නිසා ඒවා ගැන ප්‍රශ්න කරමින් අපට දුරකතන ඇමතුම් එනවා. මම පොත නිකුත් වුණු දවසේ ම මිල දී අරගෙන සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඒකේ ඇත්ත වගේම නැත්තත් තිබෙනවා. ඒ වගේම බරපතල අමතක වීම්ත් තිබෙනවා. 66 වන පිටුවේ තිබෙනවා මුලින්ම විමල් සහ උදය අපෙන් වෙන් වී ගියා කියලා. ඒක බරපතල අමතක වීමක්. ඇත්තෙන් ම සිදු වුණේ අපි ඉවත් වුණා නොවේ අපිව ඉවත් කළා. ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ ඒ සිදුවීම එතුමාට අමතක වීම පුදුමයි. අපව ඉවත් කළේ, හොරකම් මැරකම් කරලා නොවේ.

රටත් ආණ්ඩුවත් බේරා ගන්න ගිහින්. ආර්ථික අර්බූදයක් එන බව අපි කිව්වාත් ඇහුව්වේ නැති නිසා බරපතල ආර්ථික අර්බූදයක් එන බවත් ඒක මග හැරීමට ගත යුතු මග මොකක්ද කියන එකත් සඳහන් පොතක් නිකුත් කරලා මහජන සම්මන්ත්‍රණයක් පැවැත්වීම තමයි අපි කරපු වරද. බොරු බිල්ලෝ මවලා ආණ්ඩුව අපහසුතාවයට පත් කලා කියලා තමයි අපිව අස් කළේ.

65 වන පිටුවේ සඳහන් ආකාරයට මට බැසිල් සමග කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් තිබුණේ නෑ. පෞද්ගලික ප්‍රශ්නයක් ඇති වෙන්න මම එතුමාගේ දියණියක් කසාද බඳින්න අහලා එතුමා බෑ කිව්වෙත් නෑ. මම මල්වානේ ඉඩමට අයිතිවාසිකම් කිව්වෙත් නෑ. මට එතුමා සමග තිබුණේ දේශපාලන ප්‍රශ්න විතරයි. මට බැසිල් සමග තිබුණාය කියන පෞද්ගලික ප්‍රශ්නය මොකක්ද කියන එකත් සඳහන් කළා නම් මටත් ඒක දැන ගන්න තිබුණා.

නමුත් ණය අර්බූදය ඇති වුණු ආකාරය පිළිබඳ බටහිර රටවල් එතුමාගේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කරපු ආකාරය යුද හමුදාපති සිය වගකීම පැහැර හැරීම පිළිබඳ එතුමා කියන කතා ඇත්ත. නමුත් අවාසනාවට අපි එහෙම කුමන්ත්‍රණයක් තිබෙන බව කියන විට ඒවාට ඇහුම් කන් දෙන්න ඒවාට එරෙහිව කටයුතු කරන්න එදා එතුමාට උවමනාවක් තිබුණේ නෑ.

ඒ වගේ ම ආනයන සීමා කරලා විදේශ විනිමය ඉතිරි කිරීම ගැන ඉන්ධන සලාකයක් හඳුන්වා දී සැපයුම පාලනය කිරීම ගැන ඉන්ධන මිල ඉහළ දමා ඉන්ධන ඉල්ලුම පාලනය කිරීම ගැන අපි කියූ කරුණු කරන්න නොදී ආණ්ඩුව ආර්ථික අර්බූදයට තල්ලු කරපු ආණ්ඩුව ඇතුලේ සිටි කුමන්ත්‍රණකරුවන් ගැන මෙහි සඳහන් නොවීම පොතේ තිබෙන ලොකුම අඩුව විධියටයි මම දකින්නේ’ යනුවෙන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!