රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (04) උදෑසන සිට ආරම්භ කළ වැඩවර්ජනය සඳහා තමන් සහාය පළ නොකරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි .
එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය R ඥානසේකරම් සඳහන් කර සිටියේ තම සාමාජිකයන් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු සිදු කරන අතර රෝහල්වල විශේෂ වෛද්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යන බවයි. ඊට අමතරව පශ්චාත් පුහුණු විශේෂඥ වෛද්‍යවරුන් ද මෙම වර්ජනය සඳහා සහාය නොදක්වන බව ඔහු වැඩිදුරටත් පැවසීය .
විශේෂඥ වෛද්‍යවරුන්ට ද විවිධ ගැටලු පවතින නමුත් රෝගී ජීවිත අවදානමේ හෙළා වරජනයේ නිරත වීම සිය ප්‍රතිපත්තියක් නොවන බව ඔහු පැවසීය .
පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට සහ සේවා ස්ථාන මාරු ලැයිස්තුවට දේශපාලන තීන්දු හරහා අක්‍රමිකතා සිදුකරන බවට පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දිවයිනපුරා පිහිටි රෝහල්වල වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර එය අවසාන වන වෙලාවක්ද සඳහන් කර නැත.
මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටී.