පසුගිය රජයන්හි නායකයන් විසින් විදේශ රටවල සඟවා ඇති බවට සැක කෙරෙන මුදල් පිළිබඳ විමර්ශන එකී රටවල සහයෝගය සහිතව තම රජය විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් පෙර කවරදාකටත් වඩා විදේශ රටවල් මෙම විමර්ශන සඳහා දායකත්වයක් ලබා දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.
මෙකී විමර්ශන අවසානයේදී එම මූල්‍ය වංචාවන්ට සම්බන්ධ පුද්ගලයන්, අදාළ මුදල් ප්‍රමාණයන් සහ එම මුදල් රඳවා ඇති රටවල් පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් කරනා බවද ඔහු සඳහන් කළේය .
“විදේශ රටවල් මෙම පරීක්ෂණ සඳහා රජයට විශාල සහයෝගයක් ලබා දෙනවා. මීට පෙර පැවති රජයන්ට මෙවැනි සහයෝගයක් ලැබුණේ නැහැ. එම ජාත්‍යන්තර සහයෝගය නිසාම විදේශයන්හි සැඟව සිටි පාතාල කල්ලි සාමාජිකයන් රැසක් මෙරටට ගෙන්වා ගැනීමට අපට හැකි වුණා,” යැයි ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
උගන්ඩාව වැනි රටවල සඟවා ඇති බවට පැවසෙන මුදල් සහ එම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, පසුගිය පාලන සමයන්හි සිදු වූ මහා පරිමාණ දූෂණ හා වංචා පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වන බවයි.
මාධ්‍ය සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය .