අපි හොරු අල්ලනවා කියන ආණ්ඩුවක් නෙමෙයි හොරු අල්ලන්න නීති හදපු ආණ්ඩුවක්

දීර්ඝ කාලයක් දේශපාලනිකව සිතා තීන්දු තීරණ ගෙන බංකොලොත් වූ රට නැවත ගොඩනගා, රටේ දීර්ඝ කාලීන සංවර්ධනයක් ඇති කරන ක්‍රමවේදයක් ජනාධිපතිවරයා සකස් කර ඇති බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ඒ සදහා රටට අවශ්‍ය නීති ගණනාවක් ද සම්මත කර ගත් බව පෙන්වාදුන් අමාත්‍යවරයා එම නීතිවලට එරෙහිව ඇතැම් දේශපාලකයන් විරුද්ධත්වය පළ කරන බව ද ඔවුන් එසේ කරන්නේ රටේ සිදුවන ආර්ථික සංවර්ධනය බලා සිටීමට නොහැකි නිසා බව ද පැවසුවා.

මනුෂ නනායක්කාර මහතා මෙම අදහස් පළ කළේ අද (28) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී.

එම මාධ්‍ය සාකච්ඡාව අතරතුර අමාත්‍යවරයා මෙලෙස ද අදහස් දැක්වූවා.

“ආණ්ඩුවක් විදියට වැටිලා තිබුණ රටේ ආර්ථිකය, සහනාධාර මට්ටමෙන් ඉවත් කරලා ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය වැඩපිළිවෙළක් අපි සකස් කළා.

ආර්ථික වශයෙන් ශක්තිමත් පුරවැසියන්ගෙන් බදු අරගෙන ජීවත් වෙන්න අමාරු මින්ස්සුන්ට සහනාධාර සපයා තියෙනවා. ඒ නිසා තමයි සහල් බෙදා දීම, අස්වැසුම වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ.

මේවා දීර්ඝ කාලීන වැඩසටහන් නෙමෙයි. තාවකාලිකව ඒ ඒ කාලයට අවශ්‍ය මිනිස්සුන්ටයි සහනාධාර දෙන්නේ. අස්වැසුම දෙන්නේ මාස හයෙන් හයට. ඒ අයගේ සුදුසුකම් පරීක්ෂා කරල බලලා තමයි ඒ සහනාධාර දෙන්නේ. මේක ලෝක බැංකුව එක්ක සම්බන්ධ වෙලා කරන වැඩක්. රජයට ඕන කරන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි.

මේ විතරක් නෙමෙයි රටේ ඉන්න අන්ත දරිද්‍ර පිරිසට තමයි මේ සහල් බෙදා දීම වුණත් සිදු කරන්නේ. එහෙම කරන්නේ ඔවුනුත් රැකබලා ගන්න ඕන නිසා. හැම වෙලාවකම රටේ ජීවත්වෙන්න අමාරුම කොටසක් ඉන්නවා. ආබාධිතයෝ, වයස්ගත පුද්ගලයෝ, රෝගීන් මෙන්න මේ වගේ ගොඩනගන්න අමාරු කණ්ඩායම් ඉන්නව බලාගන්න. ඒ කණ්ඩායම හැරෙනකොට අපි රජයක් විදියට සහනාධාර ලබාදීම් කිසිවිටෙකත් සිදුවු කරන්නේ නැහැ.

අපි මොනවා හරි දෙයක් කරනවා නම් ඒකට හේතුවක් ඒකට මුදල් හොයාගන්න විදිහක් ආදී වශයෙන් කරුණු ඉදිරිපත් කරලා ඒ දේවල් කරන්නෙ.

දැන් සමහරු වැඩිහිටි දීමනාවේ පොලිය ගැන විවිධ දේවල් කියනවා. විශ්‍රාමිකයන්ගේ ඉතුරුම් ගිණුම්වලට වැඩි පොලියක් ලබා දුන්න ඉස්සර. එදා 29%ට 30%ට ඒ තැන්පතු සඳහා වැඩි පොලියක් ලබා දුන්නා. හැබැයි අද ඒ තැන්පතු සඳහා පොලිය අඩු වෙලා තියෙනවා. ඒ වගේම ණය ගන්නකොටත් පොඩි අඩු වෙලා තියෙනවා. එහෙම තමයි රටක ආර්ථිකයක් ප්‍රසාරණය වෙද්දී. දියුණු රටවල සල්ලි බැංකුවේ දැම්මම පොලිය ඇත්තෙම නෑ. ඒ වගේම තමයි ණය ගන්න කොටත් පොලිය අඩුයි.

හැබැයි ලංකාවේ තිබුණු ක්‍රමය අනුව කලින් 29% -30%ක් ස්ථාවර තැන්පතුවලට පොලිය හමුවුණා. ණයගන්න ගියාම පොලිය තිබුණේ 17%, 20%, 23% වගේ ගනන්වල. හැබැයි අද පොලි අනුපාතිකය 12%ට 11%ට 8%ට සහ සමහර ක්ෂේත්‍රවලදී 7%ට වගේ අඩුවෙලා තියෙනවා. මේවා ව්‍යවසායකත්වය සංවර්ධනය කරන්න රටක් දියුණු වන ක්‍රමවේදය.

අපි ආණ්ඩුවක් විදියට එක පැත්තකින් පොලිය අඩු කරනවා. අනිත් පැත්තෙන් ව්‍යවසායකත්වය වර්ධනය කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා.

මේ විදියට ක්‍රමානුකූලව රට හදාගෙන එද්දි එක එක අය තමන්ගෙ වාසියට විවිධ කතා කියනවා.

ඇතැම් දේශපාලන පක්ෂ නියෝජිතයන් කියනවා වැඩිහිටියන්ගේ පොලිය අපි ආවාම නැවත වැඩි කරනවා කියලා. එහෙම පොලිය වැඩි කරන්න නම් ඒ පොලී මුදල ගෙවන්න රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සල්ලි අච්චු ගහලා දෙන්න සූදානම් වෙන්න ඕනි. හැබැයි දැන් ඒ දේවල් කරන්න බැහැ.

අපි නීතියක් සම්මත කරලා ඉවරයි. මහා බැංකු පනතෙන් පස්සේ කාටවත් ඕන ඕන විදියට සල්ලි අච්චු ගහන්න බෑ.

සල්ලි අච්චු ගහන්නෙ නැතුව කොහොමද ඔවුන් කියන විදියට එහෙම පොලිය වැඩි කරලා දෙන්නේ. එහෙනම් සිද්ධ වෙනවා තවත් වැට් එකේ ප්‍රතිශතය 1%ක් 2%ක් වැඩි කරන්න. එහෙම නැත්නම් වෙනත් බදු ගන්න ක්‍රමයකින් හැම දෙනාගෙන්ම බදු අරගෙන මේ වැඩිහිටි පොලිය වැඩි කරන්න

අපි බලයට ආවම වැඩිහිටි පොලි අනුපාතය වැඩි කරනවා කියලා කිව්වට ඒක කරන විදියක් ගැන කවුරුවත් කියන්නේ නැහැ. වැඩිහිටියන්ගේ ඡන්ද ගන්න ඕනකමට ඒ වගේ ප්‍රකාශ නිකුත් කරනවා. ඒව දේශපාලනික වශයෙන් අඳබාල කතා

අනුර කුමාර දිසානායක කියනවා ඔවුන් බලයට ආවම සහනාධාර දෙනවා කියලා. ඔවුන් ඇවිත් නැවත සහනාධාර දෙන්න දෙයක් නෑ. අපි ගානට අවශ්‍ය අයට සහනාධාර දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඔවුන් කියනවා රටේ ආර්ථිකයත් මේ යන විදිහටම ගොඩනගනවා කියලා. මේ යන විදියටම ගොඩනගන්න අනුර කුමාර එන්න ඕනෙ නෑනේ. හැමෝම කියන්නේ මේ කරගෙන යන ක්‍රමවේදයම කරනවා කියලා විතරයි.

IMF එකත් එක්ක සාකච්ඡා කරලා මේක සංශෝධනය කරනවලු. අපිත් ආණ්ඩුවක් විදියට කැමතියි IMF එකත් එක්ක කතා කරලා මේක සංශෝධනය කරලා තවදුරටත් ජනතාවට සහන දෙන්න. ගන්න පුළුවන් උපරිම සහනය සහ වාසිය ජනතාවට ලබා දෙන්නත්, දීර්ඝකාලීනව රටක් විදියට සංවර්ධනය වෙන්න ඕන කරන වැඩපිළිවෙලට තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකතුවෙලා තියෙන්නේ.

සමහරු අහනවා රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ ඉඳල මොනවද කළේ කියලා. මේ තමයි එතුමාට ලැබුණු පළවෙනි අවස්ථාව ජනාධිපතිවරයා විදිහට මේ රට පාලනය කරන්න. අගමැති විදිහට හිටියදීත් එතුමන්ට පුළුවන් උපරිමයන් රට වෙනුවෙන් කටයුතු කළා. හැබැයි ඒ වැඩපිළිවෙළ කරගෙන යන්න ඉඩ දුන්නේ නෑ.

රනිල් වික්‍රමසිංහ මහතා එදා ගුරු විද්‍යාල, ජාතික තරුණ සේවා සභාව වගේ ස්ථාන ඉදිකරලා මේ රටේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්.

කාලයක ඉඳලා මේරට කරන්න ඉඩ නොදුන් පිරිසකුත් හිටියා. මේ රටට එන්න තිබුණු සංවර්ධන ව්‍යාපෘති, ආයෝජකයෝ නැති කරලා මේ රටේ සංවර්ධනයට කරපු බලපෑම් කරපු පිරිසක් හිටියා

අද අනුර කුමාරලා නින්දෙන් අවදි වුණා වගේ කතා කළාට ඔය කියන කණ්ඩායම තමයි මේ රටේ සංවර්ධනයට දැවැන්තම බාධාව සිදු කළේ.

 අපි මේ රටේ ජනතාවට උරුමය ව්‍යාපෘතිය හරහා ඉඩම් අයිතිය ලබා දෙනවා.

අපි ආණ්ඩුවක් විදියට ජනතාවට සහන දෙන්න පුළුවන් හැම අවස්ථාවකම සහන දෙනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතියක් තමයි ඉඩම් අයිතිය. රජයක් විදියට ජනතාවට එම ඉඩම් අයිතිය අපි ලබා දෙනවා.

ජනාධිපතිතුමා උතුරට ගිය වෙලාවේ දේශපාලනයක අධිකාරිය සමඟ සාකච්ඡා කළේ පුළුවන් ඉක්මනින් හමුදාවට අත්‍යවශ්‍යම කියන කොටස් ටික විතරක් ඉතුරු කරගෙන අනෙකුත් ඉඩම් ජනතාවට ලබා දෙන්න කියලා.

උතුරට විතරක් නෙවෙයි දකුණටත් බස්නාහිරටත් හැම තැනම මිනිස්සුන්ට ඉඩම් අයිතිය හිමි වන මට්ටමට සියලුම වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා.

සමහරු අහනවා ඔප්පු දුන්නට ඉඩම ලොකු වෙනවද කියලා. ඔප්පුව හිමිවීමත් එක්ක අදාළ ඉඩමේ තියෙන අයිතිය ඒවගේම මූල්‍යම අයිතිය ජනතාවට හිමි වෙනවා. ඒ ගැන ඔවුන්ට නොතේරෙනවා නෙමෙයි. මිනිස්සුන්ට ඉඩම් දෙනවට තියෙන කුහකකම නිසා තමයි මේ වගේ කතා කියන්නේ.

රටේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා ඇහුවම සමහරු කියනවා අපි බලයට ආවම හොරු අල්ලනවා කියලා. හැබැයි අපි කියනවා ආණ්ඩුවක් විදියට අපි හොරු අල්ලන ආණ්ඩුවක්.

අද දූෂණ විරෝධී පනත ගෙනල්ල තියෙනවා. හොරකම් අල්ලනවා අල්ලනවා කියන්න කලින් හොරකම් කරන්න බැරි පරිසරයක් හදපු ආණ්ඩුවක් අපි.

ඊට අමතරව අපේ මැතිවරණ වියදම් නියාමන පනත ගෙනාවා. මේ මැතිවරණයත් එක්කනේ දේශපාලනඥයන් හොරකම් කරන්න පෙළඹෙන්නේ. හැබැයි මැතිවරණ වියදම් සීමා කරන්න දැන් පනතක් ගෙනත් තියෙනවා. ඒ අනුව මැතිවරණයකට ඕන ඕන විදිහට වියදම් කරන්න දැන් බෑ. මේ පනතින් ඒ ගේට්ටු වහලා තියෙන්නේ.

ඊට පස්සේ අපි වත්කම් බැරකම් පනතට සංශෝධන ගෙනාවා. ඒ අනුව තමන්ගේ වත්කම දැන් හැම කෙනාම ප්‍රකාශයට පත් කරන්න ඕනේ. මේවත් එක්ක හොරකමට වැට බැන්දා.

දැන් හැමෝම කියන්නේ හොරුන්ට දඬුවම් දෙනවා කියලනේ. පොඩ්ඩක් ඉන්න ඉතාමත්ම ඉක්මනින් මේ රටේ කවුරු හරි හොරකම් කරලා තියෙනවා නම් අපේ රටේ සල්ලි පිටරටකට ගෙනිහින් තියෙනවනම් ඒ සල්ලි නැවත අත්පත් කරගන්න පුළුවන්. ඒ පිළිබඳව පැමිණිලි දාන්න පුළුවන් නීතිය හෙට අනිද්දම කැබිනට් මණ්ඩලය මගින් අනුමත කරනවා. ඒ පැමිණිලිත් එක්කම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන පනතත් හදලා දෙනවා.

ලෝකයේ කොහේ තිබුණත් ඒ මුදල් ගෙන එන්න පුළුවන් විදියට පනත හදනව කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒකයි අපි කියන්නේ අපි හොරු අල්ලනවා කියන ආණ්ඩුවක් නෙමෙයි. අපි හොරු අල්ලන ආණ්ඩුවක්.

හොරු අල්ලන ඒවා ගැන කතා කරනකොට ඉතිහාසයේ හිටපු හොරුත් මතක් වෙනව. විජේවීර මහත්තය අත්අඩංගුවට ගත්ත වෙලාවේ විජේවීර මහත්තයාගේ ගේ ඇතුලේ තිබුණු රත්තරන් ප්‍රමාණය මේ ඉන්න තරුණ දූ දරුවෝ කවුරුත් දන්නෙ නෑ.

අතිවිශාල රත්‍රන්තයක් ඔහුගේ නිවසේ තිබී හොයා ගත්තා. ඒ මිනිසුන් ගෙවල් වලින් හොරකම් කරපු රත්තරන්. එදා අහුවුණේ විජේවීරගේ ගෙදර තිබුණු රත්තරං ටික විතරයි. රට වටේ මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහිල්ලා එකතු කරපු අනිත් රත්තරං බඩු ටික කෝ?

ඒ ටික ටිල්වින් ගාවද? අනුර කුමාර ගාව ද? නැත්තම් ඒ ටික ලාල් කාන්ත ගාව ද? එදා 88 – 89 කාලයේ හොරකන් කරපු රත්තරං හොයන්නත් අපි පටන් ගන්නවා. එදා විජේවීරගෙන් අත්අඩංගුවට ගත්ත රත්තරං ටික මහාභාණ්ඩාගාරයේ තියෙනවා. හැබැයි හොරකම් කරපු රත්තරන් බඩු සේරම විජේවීරගේ ගෙදර තිබුණේ නෑ.

මේ රටේ ආර්ථිකයේ පරිවර්තනයක් සිදුවන අවස්ථාවක් මේක. සියලු දෙනාගේ වත්කම් දක්වන්න අවශ්‍ය කරන පනත් කෙටුම්පත් ඇවිල්ලා තියෙනවා. ආර්ථිකය පරිවර්තනය වන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ ආර්ථික වියදම් පරිවර්තනය කරන පනත පහුගියදා කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදීපත් කළා

හැබැයි සමහරු කියනවා ඒකට විරුද්ධව අධිකරණයට යනවා කියලා. රටේ ආර්ථිකය හදන්න සියලු දෙනාගේම එකඟතාවය අවශ්‍ය පනතට ඔවුන් විරුද්ධ වෙනවා. මොකද මේ රටේ ආර්ථිකය ගොඩනැගුනොත් ඒක තමයි හිගන දේශපාලනඥයන්ට තියෙන විශාලතම ප්‍රශ්නය.

මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කැමතිනම් මේ පනතට ඡන්දය දෙන්න ඕන. ඡන්දය දෙන්න බෑ කියන්නේ මේ රටේ සිදුවන ආර්ථික පරිවර්තනයට කැමති නෑ කියන එක. මේ රටේ හොරකම් වලට විරුද්ධව ගෙනෙන පනත් වලට ඔවුන් කැමති නැහැ. මේ රටේ දේශපාලනඥයන්ට ඕන ඕන විදිහට මුදල් පරිහරණය කරන්න බැරි වෙන විදියට නීති ගේනවට ඔවුන් අකමැතියි.

රටේ නියමිත ප්‍රතිපත්ති සකස් කරන කොට මොන ආණ්ඩුව ආවත් ඔවුන්ට ඕන ඕන විදියට මේවා වෙනස් කරන්න බැරි වෙන විදියටයි මේ එඟතාවය සකස් කරන්නේ.”

වතුකම් කම්කරුවන්ගේ වැටුප සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහි දී අදහස් පළ කළා.

“ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳව පැවති සාකච්ඡාවලින් හාම්පුතුන්ගේ සංගමය සහ වතුකම්කරුවන්ගේ වෘත්තීය සමිති අතර තියෙන එකඟතාවය මත 2020 අවසන් භාගයේදී රුපියල් 1000කට වතුකම් කම්කරුවාගේ වැටුප වර්ධනය කලා.

එදායින් පසු කිසිම ආකාරයකින් මේ දෙපාර්ශවය අතර සාමුහික ගිවිසුමක්, සාකච්ඡා පැවතුණේ නෑ. ඒ විතරක් නෙමෙයි වතුකම්කරුවන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සභාවක් තිබුණෙ නෑ. හැබැයි මම අවස්ථා ගණනාවකදී වතු හාම්පුතුන්ටත් , ඒ වගේම කම්කරු පාර්ශ්වයටත් වෘත්තීය සමිතිවලටත් නැවත වතාවක් සාමූහික එකඟතාවයක් ඇති කරගන්න කියලා ඉල්ලිම් කළා.

හැබැයි ඒ සඳහා දෙපාර්ශ්වයම එකඟ වුණේ නැහැ. ගිය වසරේ ඉඳලම අපට අවශ්‍යතාවයක් තිබුණා වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කරන්න. මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සාකච්ඡා කළා.

අපි මේ දෙපාර්ශ්වයම එකතු කරගෙන කමිටුවක් හැදුවා. ඒ කමිටුව හරහා සාකච්ඡා වට ගණනාවක් සිදු වුණා.  ජනාධිපතිතුමා වතු හාම්පුතුන් කැඳවා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවසුවේ වතුකම්කරුවන්ගේ වැටුප් ඉහල දැමීම අවශ්‍යයි. ඒ නිසා වහාම ක්‍රියාමාර්ග ගන්න කියලා.

නමුත් වතු හම්පුතුන්ගෙන් වතුකම්කරුවන්ගේ මූලික වැටුප වැඩි කරන්න යෝජනාවක් ඉදිරිපත් කළේ නැහැ. ඵලදායීතාව මත වැටුප් වැඩිවීමක් පමණයි ඔවුන් යෝජනා කළේ. නමුත් වතු කම්කරුවන්ගේ මූලික වැටුප ඉහළ දැමිය යුතු යැයි තීරණයක අපි හිටියා. නමුත් ඒ සඳහා එකඟතාවයකට එන්න බැරි වුණා.

හාම්පුතුන්ගේ සංගමය ලිඛිතව අපට දැනුම් දුන්නා දෛනිකව ලබා දෙන රුපියල් 1000ට වඩා වැටුප වැඩි කළ නොහැකි බව.

ඒ අනුව අපට සිදුවුණා පඩිපාලක සභාව කැඳවන්න. හාම්පුතුන්ගේ සංගමය එම රැස්වීම්වලට සම්බන්ධ වුණේ නෑ. දිගින් දිගටම එකඟතාවයකට ඒමට නොහැකි වීම නිසා අමාත්‍යාංශයක් විදිහට කම්කරු දෙපාර්තමේන්තුවට බලය පැවරෙනවා මෙවැනි අවස්ථාවක තීන්දුවක් ගන්න.

ඒ අනුව අමාත්‍යවරයාට ඇති බලය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට පවරලා අප්‍රේල් 30 වැනිදා පළවෙනි ගැසට් නිවේදනය පල කලා වතු කම්කරුවන්ට 1350ක් දක්වා අවම මූලික වැටුප වැඩි කිරීමටත්, ඵලදායීතාවය මත පදනම්ව ඉතිරි රුපියල් 350ක මුදලත් වැඩි කිරීමටත්.

ඒ යෝජනාවට විරෝධතා ලබාදීම සඳහා අපි කාලය ලබා දී තිබුණා. ඒ කාල සීමාව අතරතුරදී අපට කිසිම යෝජනාවක් ලැබුණේ නැහැ. නොහැකියාව ගැන පමණක් තොරතුරු ඉදිරිපත් වී තිබුණා.

අපි යෝජනා සලකා බලන කාලය තුළදී ඔවුන් අධිකරණයට ගිහින් තිබුණා. යෝජනා සාකච්ඡා කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් වන්නේ නැති බව අපට එහිදී තේරුම් ගියා.

ඒ අනුව අපට සිදුවුණාට කලින් නිවේදනය කරල තිබුණු ගැසට් නිවේදනය ස්ථිර කරන්න.

ලබන මාසයේ දී මෙම ගණන වැටුප විදිහට ගෙවන්නට සියළු වතු හාම්පුතුන්ට සිදු වෙනවා.

නමුත් ගෙවීම් පැහැර හැරීමට ඔවුන් අධිකරණයේ සහාය පතන බව දැනගන්නට තියෙන නිසා ජනාධිපතිතුමා විශේෂ තීන්දුවක් ගත්තා වතුහාම්පුතුන් වතු කම්කරුවන්ට ගෙවන වැටුප නොගෙවා පැහැර හරිනවා නම් රජයට අයිති, පෞද්ගලික අංශයට බදු දී ඇති වතු නැවත රජයට පවරා ගන්නා බවට. නිවැරදිව කළමනාකරණය කළ හැකි ආයතනයන්ට නැවතත් දීර්ඝ කාලීන බදු පදනම යටතේ එම වතු ලබා දීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා.

කුඩා තේවතු හිමියන්ගේ සම්මේලනයේ පුද්ගලයෙක් කියනවා මෙහෙම ගියොත් ලොකු  ප්‍රශ්නයක් වෙනවා. තේ කර්මාන්තය කඩාගෙන වැටෙනවා කියලා.

මේ රටේ වැඩි ප්‍රමාණයක් තේ ටික සපයන්නේ කුඩා තේ වතු හිමියෝ. එම කුඩා තේ වතු හිමියන්ගෙන් බහුතරයක් කම්කරුවන්ට රුපියල් 1500ට වඩා පඩි ගෙවනවා.

කුඩා තේවතු හිමියෝ ලක්ෂ හතරක් පමණ ලංකාවේ ඉන්න බව කියනවා. එහෙනම් ඔවුන් ළඟ හරි විදිහට වැටුප් ලබන සේවකයෝ ඉන්නවනම් එම සේවකයන්ට ETF, EPF ගෙව්වද  කියලා හොයලා බලන්න මම කම්කරු දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ලංකාවේ ETF,EPF ගෙවන ආයතන විදියට ලියාපදිංචි වෙලා තියෙන්නේ ආයතන 78000යි.”

එමෙන්ම අවිධිමත් අංශයේ වැඩ කරන සේවකටන්ට ඉදිරියේ දී ලබා දීමට නියමිත සුභසාධන වැඩපිළිවෙළ පිළිබදවත් අමාත්‍යවරයා එහි දී අදහස් දැක්වූවා.

“රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. පෞද්ගලික අංශයේ සේවකයන්ට ETF /EPF ලැබෙනවා. ඒ වගේ රටේ සියලුම ශ්‍රමිකයන්ට වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු සමාජ සුභසාධනයක් ලබා දෙන වැඩසටහනට මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළා.

ඒ අනුව ඔවුන්ටත් විශ්‍රාම දීමනාවක් ලබාදීමට, ඔවුන්ට අනතුරු වන්දි ලබාදීමට, කාන්තාවන්ට මාතෘ සමයේ දීමනාවක් ලබාදීමට වැඩපිළිවෙලක් පිළිබඳ යෝජනාව හදන්න මට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වුණා. අපි ලබන සතියේ කැබිනට් මණ්ඩලයට අපේ වටිනාව ඉදිරිපත් කරනවා.

මෙතනින් පස්සේ අපේ රටේ සියලුම වැඩ කරන ජනතාවට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයේ ප්‍රතිලාභ ලබාදීමට ප්‍රතිපාදන හදන්න අපි පටන්ගෙනගෙන තියෙනවා. මේ ක්‍රියාත්මක වන්නේ ගරුසරු වැඩසටහනත් එක්ක. www.garusaru.lk වෙබ් අඩවිය හරහා අපේ රටේ අවිධිමත් ක්ෂේත්‍ර 20ක රැකියාවල නියුතු පුද්ගලයන්ට ලියාපදිංචි වෙන්න පුළුවන්. එලෙස ලියාපදිංචි වූ පුද්ගලයන්ට තමන්ගේ අනන්‍යතාවය ඇතුලත් QR කේතයක් ලැබෙනවා. මේ රටේ ශ්‍රමිකයන්ගේ සියලුම දත්ත එකතු කරන්න පුළුවන් පද්ධතියක් විදියට කම්කරු දෙපාර්තමේන්තුව හරහා මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කරලා තියෙනවා.

ඒ වගේම අපේ රටේ අවිධිමත් අංශයේ වැඩ කරන ජනතාවට  NVQ සහතික ලබා දෙන්න වැඩ පිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් යටතේ කැබිනට් මණ්ඩලය අනුමැතිය යටත්ව එම වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!