කොළඹ ප්‍රදේශවලට යළි සුපුරුදු ලෙසට ජලය

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ ඊයේ (17) අලුයම සිදුවූ මෝටර් රථ අනතුරෙන් පුපුරා ගිය කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම අඩාල වුණා.

එම නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීමෙන් පසුව අද (18) අලුයම 2 පමණ සිට යළි ජල සැපයුම යථාතත්ත්වයට පත්කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ දුර ප්‍රදේශවලට ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථාතත්ත්වයට පත්වෙනු ඇති බවයි.

අදාළ අනතුර හේතුවෙන් ජල නළය පුපුරා ගොස් ඊයේ රාත්‍රියේ විශාල ජල කාන්දුවක් එම ස්ථානයේ සිදුව තිබූ අතර, ඊට ආසන්නයේ පිහිටා තිබුණු විදුලි රැහැන් කණු දෙකක්ද ජල පහරේ වේගයට කඩාවැටී තිබුණා.

සිදුවූ ජල කාන්දුව හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ලවුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!