අද ජනපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතිය පිළිබඳව සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකමේ තෙවන වාරිකය අනුමත කිරීම සම්බන්ධයෙනුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළකිරීමට නියමිතයි.

එසේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එහිදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු වැඩකටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර එහිදී සැලසුම් කර ඇත්තේ සංචාරක කටයුතු පනත යටතේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇති නියමයන් කිහිපයක්, රජයේ ඉඩම් ආඥා පනත යටතේ සහ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට ගැනීමටයි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ද එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතයි.

අද දිනයේ දී නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ සේවා දිගුව සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංජය රාජරත්නම් මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීම සඳහා නිර්දේශ කර ඇති අතර ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගැනීම මීට පෙර අවස්ථා දෙකකදී කල්දැමීමට සිදුවුණා.

කෙසේවෙතත් අද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!