“උරුමය” ජූනි අවසන් – උතුරට ශක්තිමත් ආර්ථිකයක්

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුගේම සිහිනය ඉඩමක නීත්‍යානුකූල හිමිකම ලබා ගැනීම බව පෙන්වා දුන් ජනාධිතිවරයා එම අයිතිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ ද විශ්වාසය බව අවධාරණය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (22) පෙරවරුවේ යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනුයි..

මිලියන 02ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහන යටතේ යාපනය ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 408ක් ලබාදීම මෙහිදී සිදු වූ අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානයට එක් වුණා.

මේ අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පරිහරණය කරන ලද ඉඩම් නිදහස් කිරීම ද මෙයට සමගාමීව අද (22) පලාලි ගුවන් හමුදා කඳවුරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

යාපනය ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා විසින් ඉඩම් නිදහස් කිරීමේ නිල ලිපි ලේඛන මෙහිදී ජනාධිපතිවරයාට භාර දුන් අතර, අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ලිපි ලේඛන යාපනය දිසාපති මරදලිංගම් ප්‍රදීපන් මහතා වෙත භාර දුන්නා.

ඒ අනුව වලිකාමම් උතුර ප්‍රාදේශීය කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් පහකට අයත් අක්කර 234 ක් මෙලෙස සාමාන්‍ය ජනතාවට ලබාදීම සිදු කෙරුණු අතර මෙම ඉඩම් රජයේ කෘෂි නවීකරණ වැඩසටහනට සමගාමීව කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට නියමිතයි.

ඒ වෙනුවෙන් බීජ ලබාදීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

උරුමය සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා.

“රජ කාලයේ ඉඩම් අයිතිය හිමිව තිබුණේ ජනතාවටයි. බ්‍රිතාන්‍ය යුගයේ මුඩු බිම් පනත යටතේ එම ඉඩම් රජයට පවරාගනු ලැබුවා. ඒ අනුව රටේ ඉඩම්වලින් 80% අයිතියි හිමිවුයේ රජයටයි.

ආණ්ඩුව බලපත්‍ර මඟින් මෙම ඉඩම් හිමිකම් ජනතාවට පවරා දුන්නද නීත්‍යානුකූල අයිතිය හිමි වූයේ නැහැ. ජනතාවගෙන් ලබාගත් ඉඩම්වල අයිතිය නැවත ජනතාවට හිමිවිය යුතු බව මගේ විශ්වාසයයි. ඒ නිසා ඉඩම් බලපත්‍ර ඇති සියලුදෙනාටම සින්නකර ඉඩම් අයිතිය ලබාදීමට අප තීරණය කළා.

කුමන ජාතියකට අයත් වුවද සියලු දෙනාගේ බලාපොරොත්තුව ඉඩමක අයිතිය ලබා ගැනීමයි. එම ඉඩම් අයිතිය සියලුදෙනාට හිමිවිය යුතුයි. ඒ වෙනුවෙන් අපි උරුමය වැඩසටහන පසුගියදා දඹුල්ලෙන් ආරම්භ කළා. අද යාපනය දිස්ත්‍රික්කයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අද පිරිසකට පමණක් මෙම ප්‍රතිලාභය හිමි වුවද මෙම ජූනි මාසය පමණ වන විට මෙම වැඩසටහන අවසන් කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ වගේම අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයකම එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා. යාපනයේ කෝපායිවල එය සිදු කෙරෙනවා. මේ සමඟ නවීන කෘෂිකර්මාන්තයක් මේ පළාතට ලැබෙනවා. ඒ සමඟම ආදායම් ඉහළ යාම සිදු වෙනවා.


යුද්ධයෙන් පසු විශාල ඉඩම් ප්‍රමාණයක් හමුදාව යටතට ගැනීමට සිදු වුණා. මේ වන විට ආණ්ඩුව, රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 63,000ක් පමණ නිදහස් කර තිබෙනවා.

ඒ වගේම නාවික හමුදාව යටතේ තිබු රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 2600ක් පමණ නිදහස් කර තිබෙනවා.


තවද, ගුවන් හමුදාව යටතේ තිබූ රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 2600ක් පමණ නිදහස් කර තිබෙනවා.


ඒ වගේම දින කිහිපයකට පෙර ඉඩම් අක්කර 101ක් නැවත ජනතාවට ලබා දුන්නා. අද අක්කර 234ක් ලබා දෙනවා.


ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගම්මාන ගණනාවකට අයත් ඉඩම් වන සංරක්ෂණ ප්‍රදේශ ලෙස නම් කර තිබුණා. එහිදී 1985 සිතියම අනුව කටයුතු කරන ලෙස මම උපදෙස් ලබා දී තිබෙනවා.

මීට පෙර මෙම ස්ථානයේ ඉඩම් හිමිකරුවන් සහ ආරක්ෂක හමුදාව ඒකාබද්ධව Palali Smart Agriculture වැඩසටහන ආරම්භ කළා. මෙම ඉඩම් සියල්ල එම අයිතිකරුවන් විසින් නැවත නවීන කෘෂි වැඩසටහනට යෙදවිය යුතු බවට අප උපදෙස් දී තිබෙනවා. මෙය ඔවුන්ට තනිව කළ නොහැකි නිසා ත්‍රිවිධ හමුදාව එකතු වී ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර ලබා දිමට කටයුතු කරනවා. ඒ වගේම අළෙවිය සඳහා ඉහළ පෙළේ සමාගම්වල දායකත්වය ලබා දෙනවා. ඒ වගේම බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනමේ සහයත් මීට හිමි වෙනවා.

මෙම ඉඩම් ලබාදීම පිළිබඳ පනවනු ලැබුවේ එකම කොන්දේසියයි. ඒ යාපනයේ හොඳම ගොවිපොළ මෙම ස්ථානයේ පවත්වාගෙන යා යුතු බවයි. එසේම එය මුළු ලංකාවටම ආදර්ශවත් ගොවිපළක් විය යුතුයි.
ඒ වගේම අපි උතුරේ අනෙකුත් ප්‍රදේශවල වගේම යාපනයේ නව වැඩසටහනක් ආරම්භ කරනවා. යුද්ධයෙන් පසු ඇති වූ ගැටළු අප දැන් විසඳමින් සිටිනවා . ඒ වගේම අපි සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (TRC) ආරම්භ කළා. අප එයට පමණක් සීමා වී නැහැ. ජනතාව පීඩාවට පත්වන ගැටලුවලට අප විසඳුම් ලබා දිය යුතුයි. ඒ වගේම ඔවුන්ගේ ආදායම් මාර්ග ඉහළ නංවා දිය යුතුයි. ඒ නිසා මෙම පළාතේ අලුත් ආර්ථිකයක් අප නිර්මාණය කරනවා.

වව්නියාවේ සිට යාපනය දක්වා කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වගේම මෙම පළාතේ ඇති විශාල සූර්ය බලශක්තිය මෙන්ම සුළං බලශක්තිය ප්‍රයෝජනයට ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම අපේ අපේක්ෂාවයි. ඒ වගේම සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා. එසේම ආයෝජන කලාප සඳහා ඉඩම් වෙන් කර තිබෙනවා. එළැඹෙන වසර 05,10 තුළ මෙම කටයුතු ක්‍රියාත්මක කර උතුරට ශක්තිමත් ආර්ථිකයක් ලබාදීමට අප කටයුතු කරනවා. අප සියලුදෙනා එක්ව උතුර ලංකාවේ ප්‍රධාන ආර්ථිකයක් බවට පත් කර ගනිමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!