අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (03) කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද විවාදය සිදුකිරීමට නියමිත බව සඳහන් වෙනවා.

අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 5ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවා.

මෙම සතිය තුළ පාර්ලිමේන්තුව ලබන 6 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර 2025 වසරේ පළමු මාස 4 සදහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව දෙසැම්බර් මස 5 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 යන දෙදින පැවැත්වීමට නියමිත බවද සඳහන් වෙනවා.

එමෙන්ම 10 වන පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාව ස්ථාපිත කිරීම ද අද සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් අදාළ පත්කිරීම සදහා එකගතාව පළකර ඇති බව සදහන් වෙනවා.