සංගීතවලට යනවා නම් – ප්‍රභූන් හමුවෙනවා නම් ජනතා විමුක්ති පෙරමුණේ අවසරය අනිවාර්යයි

මැති ඇමැතිවරුන් සංගීත ප්‍රසංගවලට සහභාගී වන්නේ නම් සහ ප්‍රභූවරුන් සහ ව්‍යාපාරිකයින් හමුවන්නේ නම් පක්ෂයේ අවසර ලබාගත යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

ගල්කිස්ස මහ හෝටලයේදී පැවති ඇබා ප්‍රසංගයට ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් සහභාගීවීමෙන් පසුව ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය සමගින් මෙම තීරණය ගෙන ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික මැති ඇමැතිවරුන් සදහා පළමුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි.

ඒ අතරම ව්‍යාපාරිකයින් හා වෙනත් ප්‍රභූවරුන් හමුවන්නේනම් පක්ෂයේ පූර්ව අවසරය ලබාගත යුතු බවට ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත. එවැනි හමුවීම් හැකිතාක් අවම කරන ලෙසටද ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩලය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.

මේ ආකාරයටම ජාතික ජන බලවේගයේ සිටින ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් නොවන මන්ත්‍රීවරුන්ට අදාල වන ආකාරයේ විනය ක්‍රමවේදයක් සකස් කරන ලෙසටද දැනුම්දී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.