සංචාරක වීසාවලින් ඇවිත් ව්‍යාපාර කරන අයට වැට බැඳෙයි

සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරත වන සංචාරකයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා.

ඒ අනුව අනවසරයෙන් ව්‍යාපාරවල නියැලෙන විදේශිකයන්ට එරෙහිව සති දෙකකින් අනතුරුව පියවර ගැනීමට ආගමන විගමන පාලකවරයා සමග සාකච්ඡා කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළා.

ඉමදූව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අදහස් දක්වමිනුයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, සංචාරකයින් ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාර ආරම්භ කිරීම නිසා සුළු සහ මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ට ඉන් සිදුවන බලපෑම පිළිබදව අවධානය යොමු කරන බවයි.

තව ද එහි දී අමාත්‍යවරයා පැවසුවේ,

“මේ ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවාද? ඒ සඳහා තොරතුරු දෙන්න. ඒ සමග වැටලීම් කරන්න. සංචාරක වීසාවලින් කිසිසේත්ම වෙළඳාම් කරන්න බෑ. මම තව සති දෙකකින් ඒ ස්ථානවලට එනවා. ඕනෑම චක්‍රලේඛයක ඒ සඳහා ප්‍රතිපාදන තිබෙනවා. මොනම ව්‍යාපාරයක්වත් සංචාරක වීසාවලට කරන්න බෑ. ආයතන ලියාපදිංචි කිරීමවත් බෑ.” යනුවෙන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!