කාරක සභාවේදී හෙළිවුණු පාසල් සිසුන්ගේ බඩගින්නේ කතාව

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පමණ පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා.

පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇතැයිද එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන්ට ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් වර්තාවක් ලබා දෙන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නා.

පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වැය වන බව එහි සඳහන් වුණා.

එමෙන්ම පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ආධාර ලබාදීමට කැමති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් කමිටුව උපදෙස් ලබාදුන්නා.

මේ අතර අස්වැසුම සඳහා සුදුසුකම් ලැබූ 200,000 ට ජාතික හැඳුනුම්පත් හා ගිණුම්වල ගැටළු වැනි විවිධ හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් කාරක සභාවේදී හෙළිවුණා.