දකුණේ පාතාලය පාලනය නොකළ පොලිස් ලොක්කන්ගේ තරු ගැලවෙන ලකුණු

පසුගිය සමයේ දකුණු පළාතේ සිදු වූ වෙඩි තැබීම්, ඝාතන ඇතුළු අපරාධ සිදුවීම්වලට අදාළව කෙරෙන විමර්ශනවල දී, පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ යම් දුර්වලතාවක් වූ බවට අනාවරණය වුවහොත් එම නිලධාරීන්ට එරෙහිව විනයානුකුල පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත පවසනවා.

පොලිස්පතිවරයා පසුගිය දා ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාශවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමුවී සාකච්ඡාවක් පවත්වා
තිබෙන අතර එහිදීයි ඒ බව සඳහන් කර තිබුණේ.

ඇල්පිටිය, පිටිගල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල ඉකුත් පෙබරවාරි 26 සහ මාර්තු 11 වැනි දා යම්කිසි පිරිසක් විසින් වෙඩි තබා පුද්ගලයන් 5දෙනෙකු ඝාතනය කෙරුණා.

එම අපරාධ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස්පතිවරයා අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට සඳහන් කර තිබුණේ, එම සිදුවීම්වලට අදාළව සිදු කෙරෙන විමර්ශනවල දී පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ යම් දුර්වලතාවයක් තිබුණේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.

එමෙන් ම බෙන්තර සිට අම්බලන්ගොඩ රත්ගම තීරය ඇතුළු ප්‍රදේශවල එවැනි තත්ත්වයන් හඳුනාගෙන විශේෂ කාර්ය බළකායත් පොලිසියත් එක්ව පාතාල ක්‍රියා වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග රැසක් අරගෙන ඇති බව ද පොලිස්පතිවරයා එහි දී සඳහන් කර තිබෙනවා.

එසේම මෙවැනි අපරාධ යළිත් සිදු නොවන ලෙසට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමටත්, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට එහි දී උපදෙස් දී ඇති බවත් ජාතික පුවත්පතක් වාර්තා කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!