මුදල් අමාත්‍යංශය ඇතුලේ තඩි මීයෙක්

මුදල් අමාත්‍යාංශය තුළ ආර්ථිකය කන විශාල මීයෙක් සිටින බවත්, මේ මීයාත් සමග සසඳා බැලීමේ දි ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සිටියේ “බටු මීයෙක්” බවත්, ආර්ථිකය ”මී උණ” රෝගයෙන් බේරාගන්න නම් කළ යුතු පළමු දේ මේ මීයා උගුලට අසු කර ගැනීම බවත් ‘නිදහස’ ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඒ “නිදහස” ජනතා සභාවේ ප්‍රධාන කාර්යාලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී යි.

එම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අනාවරණය කළේ, දිවා ආහාරය දෙන පාසල් දරුවන් සංඛ්‍යාව වන ලක්ෂ එකොළහ, ලක්ෂ විස්ස දක්වා වැඩි කරන ලෙස කැබිනට් පත්‍රිකා දෙකක් විෂභාර ඇමැතිවරයා ඉදිරිපත් කළ ද ඊට මුදල් අමාත්‍යාංශය දෘශ්‍යාබාධිත රෝගියෙක් ලෙස හැසිරෙන බවයි.

එහි දී මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළා.

“පසුගිය සඳුදා මුදල් අමාත්‍යාංශය ගැසට් එකක් ගැහුවා කුළුබඩු ප්‍රතිඅපනයන කිරීමට අවසර දීලා. මේක පිටිපස්සෙ තිබුණේ කුමන්ත්‍රනයක්. ගම්මිරිස්, කුරුඳු, කහ, ඉඟුරු, සාදික්කා වැනි කුළුබඩුවලට ශ්‍රී ලංකාව කියන්නේ ඉහළම සන්නාමයයි. අපේ තේවලට කළා වගේ ම පිටරටින් බාල කුළුබඩු ගෙනත් මිශ්‍ර කරලා Sri Lanka Brand එකක් යවන්නයි කුමන්ත්‍රණය තිබුණේ.

අද වී අලෙවි මණ්ඩලය කියනවා මහ කන්නේ වී මිල දී ගන්න භාණ්ඩාගාරය සල්ලි දෙන්නේ නෑ කියලා. සියයට 8 පොලියට පෞද්ගලික බැංකුවලින් තමයි ගන්න වෙන්නේ කියලා. වී ගොවිතැනත් විනාශ කරලා වෙළඳ මාෆියාවට පාවඩ එලන්නයි මේ හදන්නේ.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!