දකුණේ නව ආණ්ඩුකාරවරයා වැඩ ඇරඹීම හෙට

දකුණු පළාතේ නව ආණ්ඩුකාරවයා ලෙස ජනාධිපතිවරයා පත් කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිය ධූරයේ රාජකාරී හෙට(03) ගාල්ලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

ඒ මහතා හෙට රාජකාරී අරඹන්නේ දකුණු පළාතේ 12 වැනි ආණ්ඩුකාරවරයා ලෙසටයි.

මේ ඒ මහතා සම්බන්ධයෙන් ලියූ සටහනක්,

පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරමින් පැවැති පළමු මැතිවරණයෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ ඒ මහතා පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ, දකුණු පළාතේම ආණ්ඩුකාරවරයා ලෙස පත් වන පළමු තැනැත්තා ලෙසට ද ඉතිහාසයට එක්වනවා.

ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, 1982 වසරේ දී ක්‍රියාකාරී දේශපාලනය හා සම්බන්ධ වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා බැලට් එක වෙනුවට බුලට් එක පෙරමුණ ගත් දැඩි භීෂණය පැවැති සමයේ පැවැති පළාත් සභා මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දකුණු පළාත් සභාවට ඉදිරිපත් වනවා.

විවිධ තර්ජන ගර්ජන එල්ල වුවද ඊට නොබියව මුහුණ දෙමින් මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා 1988 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී විශිෂ්ට ලෙස ජයගැනීමට සමත්වුණා.

එතැන් සිට මාතර දිස්ත්‍රික්කයට පමණක් නොව දකුණු පළාත වෙනුවෙන් ජනතා සේවයේ යෙදෙමින් කෙටි කලක් ඇතුළත ජනතාව අතර කීර්තිමත්, සුපිරිසිදු දේශපාලඥයෙකු ලෙස නමක් දිනා ගැනීමටත් ඔහුට හැකියව ලැබෙනවා.

ඉන් අනතුරුව 1993 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයේ දී නැවතත් දකුණු පළාත් සභාවට ඉදිරිපත් වෙමින් එම මැතිවරණයෙන් ද විශිෂ්ට ලෙස ඒ මහතා ජයග්‍රහණය කරනවා.

1994 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට පළමු වතාවට ඉදිරිපත් වෙමින් එම මැතිවරණයෙන් ද ජයග්‍රහණය කරන ඒ මහතා අනතුරුව පැවැති මැතිවරණද ජයග්‍රහණය කරමින් 2002 වසරේ දී එවකට පැවැති ආණ්ඩුවේ විදේශ රැකියා සුබ සාධන ඇමැතිවරයා ලෙස පත්වෙනවා.

සිය ඇමැති ධූරය තුළින් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉමහත් සේවාවක් කරමින් ජනතා ප්‍රසාදය දිනාගෙන පසුව එහි ප්‍රතිඵලයක් ලෙස 2005 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ද ජයග්‍රහණය කරමින් 2007 වසරේ දී ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස පත්වනවා.

තිස් අවුරුද්දක් පුරා දිව ගිය යුද්ධයේ තීරණාත්මක අවධියක ජනමාධ්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත් වෙමින් ත්‍රස්තවාදීන්ට එරෙහිව ආණ්ඩුවේ මතය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ගෙන යමින් යුද ජයග්‍රහණය වෙනුවෙන් මතවාදී ජයග්‍රහණයක් ලබා දෙන්නට ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා සමත්වෙනවා.

නැවතත් 2010 වසරේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධූරයෙන්, 2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන කැබිනට් ඇමැති ධූරයෙන්, සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති ධූරයෙන් සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ධූරය වගකීම් රැසක් දරනවා.

ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ මෙරට ආයෝජන අවස්ථා ඇති කරමින් විදෙස් ආයෝජනයන් රැසක් ගෙන එ්මට සමත්විය. යළි 2015 වසරේ මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලෙසත්, 2018 වසරේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙසත්, 2020 වසරේ නැවතත් ජනමාධ්‍ය ඇමැති ධූරයට පත්වෙනවා.

ජනමාධ්‍ය අමාත්‍යධූරය හෙබ වූ කාලයේ සියලු ජනමාධ්‍යවේදීන් සමඟ ඉතා සුහඳව හා කුලුපගුව කටයුතු කරමින් ජනමාධ්‍යවේදීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාර්යයක් ඒ මහතා ඉටුකළා.

ඉන් අනතුරුව පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වන ඒ මහතා එහි දි පාරාජයට පත් වුවද ලංකා ඉතිහාසයේ විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් පරාජයට පත් වූ එකම මන්ත්‍රීවරයාද වනවා.

අවසන් වරට ඉදිරිපත් වූ මහ මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අවස්ථාවේ බොහෝ දෙනෙකු තම තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් කැප වෙද්දි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තමන්ගේ ජයග්‍රහණයට වඩා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණා.

එහිදී එතුමන්ට විවිධ පාර්ශවයන් බලපෑම් එල්ල කරමින් අභූත චෝදනා එල්ල කරන විටදීත්, ඊට මුහුණ දෙමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වෙමින් ඡන්ද 71106 ක් වැනි විශාල ඡන්ද සංඛ්‍යාවක් ගත්තද පරාජයට පත් වනවා.

අති විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් පරාජයට පත් වුණද සිය දේශපාලන ගමන ඉදිරියට ගෙන යමින් ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ට වඩා සිය දිස්ත්‍රික්කයට සහ ජනතාවට සේවාවක් කිරීමට ඔහු අද කටයුතු කරමින් සිටිනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට පත්වන තෙක් වසරකට ආසන්න කාලයක් එතුමන් වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස සුවිශේෂී කාර්ය භාර්යක් ඉටු කළා.

වයඹ පළාතේ ආගමික නායකයන්, නිලධාරීන් හා ජනතාව සමඟ සුහදව කටයුතු කරමින් එම පළාතේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කිරීමට සමත්වුණා.

වයඹ පළාතට ආවේනික ගැටලු හඳුනා ගනිමින් ඊට විසඳුම් ලබාදෙමින් ජනතාවගේ ජන ජීවිතය නඟා සිටුවීමට ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විශාල සේවාවක් කළේය.එම නිසාම එතුමන් එම පළාතේ සියලු දෙනාගේම ආදරය හා ගෞරවයට පාත්‍ර වුණා.

එතුමා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට පත්වීම ලබන බව සැලවීමත් සමඟ වයඹ පළාතේ මහා සංඝරත්නය, දේශපාලන අධිකාරිය හා පළාතේ ජනතාව දැඩි ලෙස විරෝධය පල කළා.

එමෙන්ම දකු‍ණු පළාතේ දේශපාලන අධිකාරියේ හා ජනතාවගේ දැඩි ඉල්ලීමක් එතුමා දකුණු පළාත් ආණ්ඩුකාර වශයෙන් පත්කර ගැනීමට තිබුණා.

මාතර දේශපාලනයේ නොකැළැල් චරිතයක් වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, බොහෝ දෙනා ඇමතුවේ “අපේ ලක්ෂ්මන් මහත්මයා” යන ලෙන්ගතු නාමයෙන්.

ජනතාවගේ ඕනෑම ප්‍රශ්නයකට නිහතමානීව ඇහුම්කම් දෙමින් කුමන අයුරින් හෝ ඊට යම් උත්තරයක් ලබා දීමට එතුමන්ට හැකියාව තිබුණා.

එමෙන්ම වයඹ පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

අද ඒ මහතා දිවුරුම් දුන්නේ වයඹ පළාතේ 16වැනි ආණ්ඩුකාරවරයා ලෙසයි.

ඒ මහතා පිළිබඳව ලියූ සටහන පහතින්,

අහමඩ් නසීර් සයිනුලාබ්දීන් කියලා කියන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

එමෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් සහ මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරක් ලෙස කටයුතු කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයෙක් ලෙසද එම ප්‍රදේශයට මහත් සේවයක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා ලෙසත් ඒ මහතා සේවය කර තිබෙනවා.

හිටපු නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය එම්.එන්.අබ්දුල් මජීඩ්ගේ ඉවත් වීමෙන් පසුව ඔහු 2015 වසරේ පෙබරවාරි 6 වැනි දින ඒ තනතුරට පත්වනවා.

2022 වසරේ ශ්‍රී ලංකාව තුළ පැවති විරෝධතා හේතුවෙන් ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයෙන් ඒ මහතා ඉල්ලා අස්වනවා.

පසුව 2022 වසරේ අප්‍රේල් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහු පරිසර අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!