සෞඛ්‍ය අමාත්‍යාංශය මහජන සහය ඉල්ලයි

ශ්‍රී ලංකාව තුල සිටින ව්‍යාජ වෛද්‍යවරුන් සහ පවතින ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ දැනට ව්‍යාජ වෛද්‍යවරුන් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් බව වාර්තාවනවා.

වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සහ පෞද්ගලික වෛද්‍ය ආයතන පළාත් මට්ටමින් ලියාපදිංචි කිරීම අනිවාර්යය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එලෙස ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන රැසක් දිවයින පුරා පවතින බවට පැමිණිලි ලැබී ඇති බවයි.

මෙවැනි වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන සොයා ඉතාමත් ඉක්මණින් විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මෙවැනි ආයතන සහ වෛද්‍යවරුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සුදුසුකම් සපුරා නොමැති ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!