බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ සිහින බොඳ වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන සුපිරි අටදෙනාගේ වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (24) පැවැත්වුණා.

එම තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 135ක් රැස් කරගත්තා.

පිළිතුරු ඉනිම පිටියට පැමිණි දකුණු අප්‍රිකානුවන් ඕවර 2කදී කඩුලු 2ක් දැවී ලකුණු 15ක්ව රැස්කර තිබිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ හේතුවෙන් ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමවේදය අනුව දකුණු අප්‍රිකාවේ ඉලක්කය පන්දු ඕවර 17කදී ලකුණු 123ක් දක්වා වෙනස් වුණා.

ඔවුන්ගේ කඩුලු විටින් විට දැවී ගියද 17 වන පන්දු ඕවරයේ පළමු පන්දුවේ දී මාර්කෝ යැන්සන් එල්ලකළ 6 පහරත් සමග තරගය ජයග්‍රාහී මාවතක් කරා ගෙන යාමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකිවුණා.

ඒ අනුව සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර අවසන් පූර්ව වටයට දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.