ලාංකිකයන්ගේ පළතුරු පරිභෝජනය වැඩි වෙලාලු

පසුගිය වසරේ දී මෙරට පළතුරු පරිභෝජනය සහ අපනයනය ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාවේ වාර්ෂික පළතුරු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 19.6ක් වන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

පසුගිය වසරේ දී මෙරට පළතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2023 වසරේ පළතුරු නිෂ්පාදනය ඉහළ යාම දෙස බලන විට ප්‍රධාන වශයෙන් කෙසෙල්, අඹ, අන්නාසි හා පැපොල් නිෂ්පාදනය ඉහළ යාම කැපී පෙනෙන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මීට අමතරව පළතුරු මෙට්‍රික් ටොන් 38,201ක් ද අපනයනය කර ඇති බව වෙනත් වසරවලට සාපේක්ෂව පළතුරු අපනයනය ද ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

2027 වනවිට කෙසෙල් නිෂ්පාදනය හෙක්ටෙයාර් එකකට මෙට්‍රික් ටොන් 19.5ක් දක්වාත්, අඹ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 9.5ක්, පැපොල් මෙට්‍රික් ටොන් 45ක්, අන්නාසි මෙට්‍රික් ටොන් 14ක් සහ වැල් දොඩම් මෙට්‍රික් ටොන් 30ක් දක්වාත් ඉහළ නැංවීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා ප්‍රභේද අභිජනනය, දෙමුහුම් ප්‍රභේද අභිජනනය, අධි ඝනත්ව වගාව, ඒකාබද්ධ පලිබෝධ පාලනය, ශාක පෝෂක හදුන්වාදීම වැනි තාක්ෂණික පියවර රැසක් සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.