කලාපීය සහ අන්තර්ජාතික වශයෙන් සංචාරක ආකර්ෂණයක් දිනා සිටින ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රකෘතිමත් වීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විසි ලක්ෂ වැනි සංචාරකයා අද (26) දිනයේ පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් පසුවෙයි.
අද දිනයේ දී මෙම වසර තුළ මෙරටට පැමිණි මිලියන 02 සීමාව සම්පූර්ණ කරන සංචාරකයාගේ පැමිණීමත් සමඟ එම සන්ධිස්ථානය සනිටුහන් කරන අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය 2018 වසරින් පසුව රටේ වඩාත් ශක්තිමත්ම සංචාරක සමය සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම මාසයේ පළමු දින 22 තුළ පමණක් සංචාරකයන් 161,383ක් රට තුළට පැමිණීමත් සමඟ දෙසැම්බර් මාසයේ දී විදේශීය සංචාරකයන්ගේ පැමිණීම විශාල ලෙස වර්ධනය වී ඇත. පසුගිය දෙසැම්බර් 22 වැනි දින මෙරටට එක් දිනක් තුළ වාර්තා ගත විදේශීය සංචාරකයන් 10,820ක පිරිසක් පැමිණ තිබෙන බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.
එමෙන්ම දෙසැම්බර් 20 – 22 දක්වා විදේශීය සංචාරකයන්ගේ දෛනික පැමිණීම් අඛණ්ඩව 10,600 ඉක්මවා තිබෙන අතර ඒ අනුව, මේ වනවිට විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ දෛනික සාමාන්‍යය 7,336 දක්වා වර්ධනය වී තිබේ. ශීත ඍතුවත් සමඟ නොවැම්බර් මාසයේ දී විදේශීය සංචාරකයන් 184,168ක් මෙරටට පැමිණ ඇති අතර එය වසරින් වසර (YoY) පදනම මත සියයට 22ක වැඩිවීමක් බව ද එම අධිකාරිය පවසයි.
වසරින් වසර (YTD) පැමිණීම් මේ වනවිට මිලියන 1.96 ඉක්මවා ඇති අතර, ඩොලර් බිලියන 3 ඉක්මවන සංචාරක ආදායම සමඟින් වසර අවසානය වනවිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම් මිලියන 2.1 දක්වා ළඟාවීමට වේදිකාව සකසා තිබේ. 2024 ජාතික සංචාරක සම්මාන උලෙළේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා එම අංශයේ ඔරොත්තු දීමේ හැකියාව සහ වර්ධනය අවධාරණය කළේය.
“කර්මාන්තය 2024 වසරේ දී ඉහළ සටහනකින් අවසන් කිරීමට සූදානම්ව සිටින අතර, අමුත්තන්ගේ සංඛ්‍යාව මිලියන 2.1ක් සහ ආදායම ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. හෝටල්වලට කාමර වෙන්කරවා ගැනීමේ අනුපාත නැවත සියයට 80 දක්වා ඉහළ යමින් පවතින අතර වසර පහකට ආසන්න කාලයක් තිස්සේ නොතිබූ ප්‍රබෝධමත් මට්ටමක් අපි දකිනවා” යැයි ඔහු පැවැසීය.
මෙම සමය හැරවුම් ලක්ෂ්‍යයක් වන අතර ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහා හොඳම වසර ඉදිරියෙන් තිබේ. ඉන්දියාව දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ විශාලතම මූලාශ්‍ර වෙළෙඳපොළ ලෙස පැවැති අතර, ඉන්දීය සංචාරකයන් 35,131ක් හෝ මුළු පැමිණීමෙන් සියයට 22ක දායකත්වයක් දක්වා තිබේ.
දෙසැම්බර් මාසයේ දී මේ දක්වා රුසියානු සංචාරකයන් 22,637ක් මෙරටට පැමිණ ඇති අතර, තුන්වැනි ස්ථානයේ පසුවන බ්‍රිතාන්‍යයෙන් පැමිණ ඇති සංඛ්‍යාව 12,822කි. ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව වෙතින් පිළිවෙළින් 9,998 සහ 8,646 පැමිණීම් සමඟ මෙරටට සංචාරකයන්ගේ ඉහළ පැමිණීමක් ඇති රටවල් පහ අතරට පැමිණ තිබේ. දෙසැම්බර් මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් අතර වර්ධනයක් පෙන්නුම් කරන අනෙකුත් රටවල් අතර චීනය, අමෙරිකාව, මාලදිවයින, ප්‍රංශය සහ පෝලන්තය ද වේ.