දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියාට එරෙහිව ක්‍රියාත්මක වූ STF මෙහෙයුම

තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි එම පුද්ගලයා තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක්ද රැගෙන සිය නිවස වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

එලෙස පැමිණි අවස්ථාවේදී කාන්තාව නිවසින් පළාගොස් ඇති අතර අදාළ පුද්ගලයා ඔහුගේ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්‍රාණ ඇපයට තබාගෙන සිට තිබෙනවා.

මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ වයස අවුරුදු 10ක දැරියක් සහ වයස අවුරුදු දෙකක කුඩා පිරිමි ළමයෙකු බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු හංවැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර අදාළ සැකකරු අද (6) හෝමාගම අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව හංවැල්ල පොලිසිය පවසනවා.

ප්‍රාණ ඇපයේ සිට මුදවා ගාත් දරු දෙදෙනාව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!