ලංකාවේ පළමු ආයෝජන මණ්ඩල සම්මාන උළෙල
ජනපති ප්‍රධානත්වයෙන්

රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ආයෝජන මණ්ඩලය යටතේ ඇති සමාගම් සිදු කළ සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනමන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (02) පැවැති ආයෝජන මණ්ඩල සම්මාන උළෙල අමතමින්.

ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් පළමු වරට මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබු අතර ඍජු විදේශ ආයෝජන සහ අපනයන කාර්ය සාධනය සඳහා සිදු කර ඇති දායකත්වය වෙනුවෙන් ආයෝජන මණ්ඩලය යටතේ පවතින සමාගම් වෙත සම්මාන 30 ක් පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර දිගුකාලයක් පුරා ක්‍රියාකාරිව පැවැති සමාගම් සඳහාද විශේෂ ඇගයීමක් සිදු කෙරුණා.

මීට අමතරව, පුද්ගල මට්ටමින් ශ්‍රී ලංකා ආර්ථිකයට ලබාදුන් සුවිශේෂී දායකත්වය මත පදනම් වූ නව සම්මාන කාණ්ඩයක් යටතේ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රෝෆ් ඕමාර්, මාස් හෝල්ඩිංග්ස්හි සම නිර්මාතෘ හා සභාපති දේශමාන්‍ය මහේෂ් අමලීන් සහ සෙයිල් ලංකා යාත්‍රා සමූහ ව්‍යාපාරයේ සභාපති පියරේ ප්‍රින්ජර්ස් යන මහත්වරුන් වෙත සම්මාන ත්‍රිත්වයක් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවුණා.

ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා විසින් 1981 වසරේ බියගම ආයෝජන කලාපය විවෘත කිරීමේ අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක්, සමරු තිළිණයක් ලෙස මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවා.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මානලාභීන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක්වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!