ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රසල් හාමර් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ කඩූළු රකින්නෙකු වූ රසල් හාමර් මහතා (76) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ වෙස්ලි විදුහල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ ඔහු 1964 දී ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළා.

ඉන්පසු නෝමෑඩ්ස් ,සැරසන්ස් හා එස්.එස්.සී. ක්‍රීඩා සමාජ නියෝජනය කළ රසල් 1975/76 ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින්නා ලෙස නිල නොවන ටෙස්ට් තරග දෙකකට හා එක් දින තරග දෙකකට ක්‍රීඩා කර තිබෙනවා.

වසර 1968 සිට 1977 දක්වා ඔහු ප්‍රමුඛ පෙළ ක්‍රීඩා කළ අතර වමත් පිතිකරුවකු ලෙස කැපී පෙනුණා.

රසල් හාමර් පිළිබඳ කැපී පෙනුණු විශේෂ සිද්ධියක් වූයේ ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවට එරෙහිව අධිකරණයට ගිය එකම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වීමයි.

ඉන්දීය සංචාරයෙන් පසු ඔහු කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳව පැවරූ නඩුවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූයේ වාමාංශික නායකයකු වූ කොල්වින්.ආර් ද සිල්වා මහතායි..

නඩුවේ චූදිත පාර්ශ්වයක් වූ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වූයේ කොල්වින්ගේ දේශපාලන සගයකු වූ ආචාර්‍ය එන්.එම්.පෙරේරා යි.

එහෙත් එම නඩුවෙන් රසල් පැරදුනු අතර නැවත ලංකාව නියෝජනය කිරීම සඳහා තෝරා නොගැනිණි.

අභාවප්‍රාප්ත රසල් හාමර් මහතාගේ දේහය 28 වැනි දා උදේ සිට බොරැල්ල ඒ.එෆ්. රේමන්ඩ්ස් මල් ශාලාවේ මහජන ගෞරවය පිණිස තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 29 වැනි සිකුරාදා සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!