බේරුවල සහ දෙහිවල නිවෙස් දෙකක් ත්‍රස්ත වැඩවලට භාවිත කරලා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසු ජනාධිපතිවරයාගේ නියෝග මත ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ පොලිසිය භාරයට ගනු ලැබූ දෙහිවල සහ බේරුවල ප්‍රදේශවල පිහිටි සුඛෝපභෝගී නිවාස දෙක අල් කයිඩා සහ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මීට අදාලව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ නිවාස පවරා ගැනීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන මෙන් ඉල්ලා එම නිවාසවල හිමිකරුවන් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කිරීමට ද තින්දු කරනු ලැබුවා.

මෙම පෙත්සම් ඊයේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ, කරුණු දක්වමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසු අනාවරණය වූ තොරතුරු මත මෙම නඩුවට පාදක වන ප්‍රශ්න ගත නිවාස දෙක සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන සිදුකළ බව සඳහන් කර තිබෙනවා.

ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ලුක්මාන් තාලිෆ් නමැත්තෙකු මෙම නිවාසවල හිමිකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වා තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කියා සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අදාල නිවාස ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ හා අල් කයිඩා සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් ප්‍රකාශ කරනු ලැබුවා.

එසේ ම අදාළ නිවාස අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පන්ති පැවැත්වීම සඳහා යොදාගෙනතිබෙන බවට විමර්ශනවල දී කරුණු හෙළිදරව් වී තිබෙන බවත්ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.

මෙම නිවාස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිසිය භාරයට ගැනීමට අදාළ නියෝගය ජනාධිපතිවරයා විසින් නිකුත් කළේ, ඔහුට ඉදිරිපත් වූ සෑහීමකට පත්විය හැකි තොරතුරු පදනම් කරගෙන බවත් මෙම නියෝගය තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අදාල පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසත් ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!