රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ව්‍යවසායකයෙකු කළ විශාල ම පරිත්‍යාගය

මෙරට ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිහිටි අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය” ඊයේ (26) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

එහි දී ජනාධිපතිවරයාව පිළිගැනීමට එම රෝහලේ සිදුකළ සාර්ථක අක්මා ශල්‍යකර්මයක් තුළින් සුවය ලැබූ දැරියක එක්ව සිටීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ දරුවන් සහ වැඩිහිටියන් අතර නිදන්ගත අක්මා රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතින අතර අක්මාව අකර්මණ්‍ය වීම සඳහා ඇති එකම ඵලදායී ප්‍රතිකාරය වන්නේ අක්මාව බද්ධ කිරීමේ ප්‍රතිකර්මයයි.

මෙම සංකීර්ණ අක්මා රෝග වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා ඒ පිළිබඳ විශේෂඥ දැනුම සහ ඒ සඳහාම විශේෂිත වූ මිලෙන් අධික උපකරණ අවශ්‍ය වනවා.

අක්මා බද්ධ කිරීමේ ප්‍රතිකර්මයක් සාර්ථකව සිදු කිරීමට හැකිවීම රටක සෞඛ්‍ය සේවාවේ වර්ධනයේ දර්ශකයක්.

උතුරු කොළඹ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානය, පශ්චාත් උපාධි පුහුණුව ලබාදීම සඳහා ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන අතර අක්මා රෝග සම්බන්ධයෙන් උසස් තත්ත්වයේ පර්යේෂණ සිදු කරමින් ශ්‍රී ලංකාවේ අක්මා පිළිකා සඳහා පවතින ප්‍රතිකාර පිළිබඳ විශාලතම දත්ත ගබඩාව ද මෙම මධ්‍යස්ථානය භාරයේ පවත්වාගෙන යනු ලබනවා.

එම්. එච්. ඕමාර් පදනම මෙම අක්මා රෝග විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන දෙක හමාරක මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා වෙත මෙරට ව්‍යවසායකයෙකු විසින් සිදුකළ විශාලතම පරිත්‍යාගය යි.

එම්. එච්. ඕමාර් මහතා මෙරට ප්‍රකට බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා යි.

සමරු ඵලකය නිරාවරණය කර එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය” විවෘත කළ ජනාධිපතිවරයා එහි පහසුකම් නිරීක්ෂණය කිරීමට ද එක් වුණා.

මෙම අවස්ථාව සනිටුහන් කරමින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක් ද තැබුවා.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඕමාර් පවුල විසින් සිදු කරන ලද මෙම අද්විතීය පරිත්‍යාගය සහ බ්‍රැන්ඩික්ස් ව්‍යාපාරය තුළින් මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් කළා.

අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා කලාපයේ හොඳ ම රටක් බවට අද ශ්‍රී ලංකාව පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කණ්ඩායම විසින් රටට ලබා දෙන කීර්තිනාමය වෙනුවෙන් සිය ස්තූතිය පළ කළා.

එසේ ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පිරිස දැනුවත් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!